මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් එක්සත් ජනපදය ආර්එම් පාර්ක්ස් (RM Parks) සමාගම ඉදිරි මාස දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා පවසයි .
ඉන්ධන ආනයනය වෙනුවෙන් විදේශ මුදල් සොයා ගැනීම සඳහා රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පීඩනය අඩු කිරීමේ අරමුණින් චීනයේ සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් ඕස්ට්‍රේලියා සහ එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් යන විදේශීය සමාගම් තුනකට ඉන්ධන බෙදාහැරීමට මේ වසරේ ජූලි මාසයේදී බලපත්‍ර ප්රදානය කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබුණා.
සිනොපෙක් සමාගම දැනටමත් මෙරට මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර “ආර්එම් පාර්ක්ස් සමාගම දැනටමත් ඩොලර් මිලියනයක කාර්ය සාධන බැඳුම්කරයක් තැන්පත් කර ඩොලර් මිලියන 2 ක බලපත්‍ර ගාස්තුව ඉදිරි සතියේදී තැන්පත් කරන බවට ඔවුන් අපට දන්වා තිබෙන බව අමාත්‍යවරයා සදහන් කරා.
ඒ අනුව ඔවුන් බලපත්‍ර ගාස්තුව ගෙවූ දින සිට දින 45 ක් ඇතුළත පළමු නැව්ගත කිරීම ගෙන ආ යුතු බවද ඩී වී චානක ප්‍රකාශ කළා.
සිනොපෙක් සමාගම දැනටමත් මාසිකව ඩොලර් මිලියන 40ක ඉන්ධන ආනයනය කරමින් සිටින අතර සමාගම් තුනම සිය උපරිම හැකියාවෙන් මෙහෙයුම් ආරම්භ කළහොත් රජයට ඉන්ධන ආනයනයෙන් ඩොලර් බිලියන 1.5ක් ඉතිරි කර ගත හැකි බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නා.
