ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ප්‍රකාශ කළාය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය අතර හමුවක් පෙරේදා (22) සිදු වූ අතර එහිදී ඇය මේ බව ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දියත් කර ඇති වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් මූල්‍ය සහ ණය සහන ලබාදීමේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එහිදී භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය දක්වන දායකත්වයට ස්තූතිය පළ කර සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන කටයුතුවලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද මහා භාණ්ඩාගාර ලේකම්වරිය දැනුවත් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අභියෝගයක් වුවත් එහිදී අවබෝධයෙන් යුතුව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳවද ජැනට් යෙලන් මහත්මිය දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රය සහ “දේශගුණ සෞභාග්‍ය සැලැස්ම” පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් දැක්වූ අතර මෙම ක්‍රියාවලියේදී පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීම රජයේ අභිප්‍රාය බවද පැවසීය.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය වෙත ඇරයුම් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page