“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැතැයි රජය අවධාරණය කරයි. ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පාර්ශ්ව දරන උත්සාහයන් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් අදාළ සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට වහාම කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමඟ ඉදිරි සතියේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් රජය දැනුම් දෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද 2022 අංක 1 දරන සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැතිව අංක 2310/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ බවයි.
සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ. සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණය සඳහා දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන ආකාරයට නිලධාරීන් 6728ක් යොදවනු ලැබීය. සංවර්ධන නිලධාරීන් 3190ක්, ආර්ථික සංවර්ධන නිලධාරීන් 494ක්, ග්‍රාම නිලධාරීන් 205ක්, වෙනත් නිලධාරීන් 1127ක් සහ තාවකාලිකව බඳවාගත් 1712 දෙනකු ඊට ඇතුළත් විය.
ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු වෙයි. කෙසේ වෙතත් එම ක්‍රියාවලියේදී අඩු පාඩු සිදුව ඇති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කිරීමත් සමඟ අස්වැසුම සුබසාධන වැඩපිළිවෙළට ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ආසාධාරණයට ලක්වූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය ජූලි මස 10 වැනිදා දක්වා දීර්ඝ කරන බවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ (25) උදෑසන නිවේදනය කරනු ලැබීය.
වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරු ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිති.
ඒ අනුව ආර්ථික සවියක් අත්‍යවශ්‍ය පුද්ගලයකුට හෝ පවුලකට මෙම ප්‍රතිලාභය අහිමි වී තිබේ නම් අදාළ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විමසීම් සිදු කර එය නිවැරදි කර ගැනීමේ අවස්ථාව පවතී.
අස්වැසුම වැඩසටහනේ මූලික අවශ්‍යතාව වන්නේ ආර්ථික සවියක් අවැසිම පුද්ගලයන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දීම මිස හුදු දේශපාලන ක්‍රියාවලියකට නතුව, විවිධ පක්ෂවල අවශ්‍යතාවන් සපුරාලීම නොවන බවත් ඒ පිළිබඳ ගෙන යන පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් රජය අවධාරණය කරයි. විවිධ ප්‍රචාර හෝ පුද්ගල බලපෑම් මත කලබලයට පත් නොවී තමන්ගේ නම, දැනට ප්‍රකාශයට පත් කර ඇති ලේඛනයට ඇතුළත් වී නරති නම් හෝ නුසුදුස්සකුගේ නම ඊට ඇතුළත් වී ඇත්නම් ඒ සම්බන්ධ විමසීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කර ගැනීමට කාරුණික වන ලෙසත් අයදුම්කරුවන්ට මතුව ඇති ඕනෑම ගැටලුවක් ප්‍රාදේශීය ලේකම්වරයා මඟින් විසඳාගත හැකි බවත් රජය වැඩිදුරටත් දැනුම් දෙයි.
මේ අතර අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා ඔන්ලයින් ක්‍රමය භාවිත කර ගොනු කිරීමට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පුද්ගලිකව භාරදීමට කටයුතු කළ හැකිය. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට 1924 ක්ෂණික ඇමතුම් අංකය අද (26) සිට සිකුරාදා දක්වා පෙරවරු 8-5 ත් අතර ක්‍රියාත්මකය.
