ලෝක බොරතෙල් වෙළඳපොළේ මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණද, එහි වාසිය මෙරට පාරිභෝගිකයන්ට වහාම ලබා දීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවති යුදමය උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා මූලික එකඟතාවකට පැමිණීමත් සමඟ, ගෝලීය බොරතෙල් මිල පසුගිය මාස තුන තුළ වාර්තා වූ අවම මට්ටම දක්වා පහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගැනීම මාසික ඇණවුම් පදනම මත සිදු කරන බැවින්, ලෝක වෙළඳපොළේ මිල පහළ යාමේ වාසිය මෙරටට හිමිවන්නේ අගෝස්තු මාසයෙන් පසු සිදු කරන නව ඇණවුම්වලදී පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම, QR කේත ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා රජයට බොරතෙල් බැරලයක මිල නිශ්චිත සීමාවක අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය බවද සඳහන් කර සිටියා.

පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අදාළ මණ්ඩලය විසින් රුපියල් බිලියන 47ක මුදලක් අනුමත කර තිබුණු අතර
මීට පෙර ඉන්ධන සහනාධාර ලබාදීම සඳහා පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවලදී රුපියල් බිලියන 19ක් අනුමත කර ඇත.

මෙ වන විට මැයි සහ ජුනි මාස සඳහාද අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා ප්‍රකාශ කලා.

පසුගිය ජනවාරි මාසයේ සිට සංස්ථාව ලබාදුන් විවිධ සහනාධාර හේතුවෙන් රුපියල් බිලියන 5ක (රුපියල් කෝටි 500ක) මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්
සංස්ථාව මේ වන විටත් ජනතාවට සැලකිය යුතු සහන ලබාදී ඇති බැවින්, මෙම අවස්ථාවේදී ඉන්ධන මිල තවදුරටත් අඩු කළහොත් දැනට ලබාදෙන සහන පවත්වාගෙන යාමට බාධා ඇතිවිය හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කලා.

පිරිපහදු කළ ඉන්ධන සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහාද මෙම තත්ත්වය එකලෙස බලපාන බැවින්, නුදුරු කාලයේදී ඉන්ධන මිල පහළ යනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page