සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් අද (24) සිට ඉවත් වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණහොත් එළඹෙන 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අවතීර්ණ වන බවයි.
වසර ගණනාවක් තිස්සේ ග්‍රාම නිලධාරීන් ඉල්ලා සිටින ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.
ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරි කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ දීමනා ලබාදීමට බලධාරීන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බව ද ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කළේය.
