පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 ට (National Education Policy Framework) අදාළ කෙටුම්පත පිළිබඳව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දෙවැනි දිනටත් සාකච්ඡා කිරීම සිදු විය.
අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මනිත්‍රී ගරු (ආචාර්ය) වී. රාධක්‍රිශ්නන් මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 7 වැනි දින මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී ද සාකච්ඡා කිරීම සිදු වූ අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.
අධ්‍යාපන විෂය සම්බන්ධ විද්වතුන් වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා සහ ආචාර්ය එම්.වේහැල්ල මහත්මිය මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවට අදාළව විශේෂඥයන් ලෙස නම් කිරීම ද මෙහිදී සිදුවිය.
අනතුරුව මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සැකසීමේදී තවදුරටත් අවධානය යොමු කළ යුතු ක්ෂේත්රයන් පිළිබඳව දීර්ඝව කරුණු ඉදිරිපත් කරන ලදී (Presentation).
අග්‍රාමාත්‍ය ලේකම් සහ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල කමිටුවේ සභාපති අනුර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ඇතුළු නිලධාරීහු මෙහිදී පැහැදිලි කිරීම් සිදු කළහ.
තවද මේ සඳහා කාරක සභාවට අනුයුක්ත තරුණ නියෝජිතයන්ද සහභාගී වූ අතර කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය පරිදි සිය අදහස් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදී.
කාරක සභා සාමාජිකයන් වන ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු මුදිතා ප්‍රශාන්ති, ගරු මංජුලා දිසානායක සහ ගරු මහාචාර්ය චරිත හේරත් යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූහ.
