රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක් වෙමිනි.

මෙම පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීමේ වැඩසටහනට සමගාමීව දිවයිනේ පාසල් 10,126ක සිසු දරුවන්ට හා පිරිවෙන් 822ක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සහ සිල් මාතාවන්ට පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීම සිදු කරයි

සංකේතාත්මකව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ සිසු දරුවන් කිහිප දෙනෙකුට නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් බෙදාදීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඈන් ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වූවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මගේ නිවස අවට පාසල් පහක් තිබෙනවා. ඒ මම අධ්‍යාපනය ලැබූ පාසල් දෙකක් වන රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය වගේම කාන්තා විද්‍යාලය, මහානාම විද්‍යාලය සහ මේ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ඒ අවට පිහිටා තිබෙනවා. එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මට හැකි වී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේත් මෙම පාසලේ සංවර්ධන කටයුතු පිළිබඳ අප අවධානය යොමු කළා.

2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

එම ආර්ථික වැඩපිළිවෙළ නිසා අද වන විට රට යම්කිසි ආර්ථික ස්ථාවරභාවයකට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් නියමිත කාලයට ලබා දීමට රජයට හැකි වුණා. ඒ සඳහා රුපියල් බිලියන 14කට වඩා වැඩි මුදලක් වැය කළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කර නව අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කළ යුතුයි. ලෝකයට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් අධ්‍යාපන ක්‍රමවේදය ලොවට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කළ යුතුයි. එමඟින් ලොවට ගැළපෙන වෘත්තිකයන් බිහි කළ හැකියි. ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කිරීමට එමඟින් හැකියාව තිබෙනවා. විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමටද අපේක්ෂා කරනවා.

අප කිසිවෙක් 2022 මේ රට පැවති තත්ත්වයට නැවත යාමට කැමති නැහැ. ගෑස් පෝලිම් නැති, ඉන්ධන පෝලිම් නැති, ආහාර පෝලිම් නැති සමාජයක් තමයි අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ. එවැනි අඳුරු යුගයකට නැවත රට පත්නොවී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා. ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත්, නව වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page