මහ බැංකු පනත් අනුව පැවරී ඇති බලය කුමක් වුවත් සමාජ සාධාරණත්වය අනුව මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ උත්තරීතර පාර්ලිමේන්තුවට හිමි මුදල් බලය අනුව තීරණයක් ගත යුතුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි .
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව සියලු අදහස් විමසමින් මුදල් කාරක සභාව මගින් පරිපූර්ණ වාර්තාවක් සකස් කළ යුතු බවත් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව සතු උත්තරීතර බලය අනුව තීරණයක ගත යුතු බවත් ය.
සමාජ ආරක්ෂණ බද්ද සහ එකතු කළ අගය මත බද්දට අදාළ සංශෝධනය පිළිබඳ විවාදකයට එක් වෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව පවසා සිටියා
සමාජ ආරක්ෂණ බද්ද මගින් තවත් රුපියල් බිලියන 14ක ආදායමක් උපයා ගැනීම රජයේ අපේක්ෂාව බවත් ඒ සඳහා තවත් බදු ගොනු 8,000 විවෘත කර ගැනීමේ අරමුණෙන් ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටි
. ඒ අනුව දැනට රුපියල් මිලියන 120 මට්ටමේ පැවැති සමාජ ආරක්ෂණ බද්දට යටත් වීමේ පිරිවැටුම රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බවත් සමාජ ආරක්ෂණය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ප්රමුඛ අවධානය යොමු කර ඇති බවත් ඒ වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් බිලියන 205ක මුදලක් වැය කරන බවද සදහන් කලා.
2022 වසරේ දී රජය සමාජ ආරක්ෂණය වෙනුවෙන් වැය කළේ රුපියල් බිලියන 44ක් පමණක් බව සඳහන් කළ සියඹලාපිටිය මහතා එම ප්‍රමාණය සියයට 355 කින් වර්ධනය කරමින් 2024 දී අදාළ මුදල් වැය කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය .
මීට පෙර වසරවල දී ඊට අදාළ මුදල් විදේශ සංවිධාන මගින් හිමි වුව ද මෙවර සමස්ත මුදල රජයෙ විසින් උපයා ගත යුතු බවයි හෙතෙම සඳහන් කරයි
මේ අතර එකතු කළ අගය මත බද්දට යටත් වීමේ පිරිවැටුම ද රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා පහත දමා තිබේ. බදු ආදායම ශක්තිමත් කිරීම තුළින් ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර රජය ගනිමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉතිහාසයේ ගනු ලැබූ ඇතැම් අදූරදර්ශී තීරණය වෙනස් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව කියා සිටියේ ය.
2022 වසරේ දී ලක්ෂ 18කට වැඩි පිරිවැටුමත් ඇති සියලු ව්‍යාපාර එකතු කළ අගය මත බද්දට යටත් කෙරුණු අතර එය 2020 වසරේ දී මිලියන 300 දක්වා ඉහළ දැමුණු බවයි හෙතෙම කියා සිටියේ. එම අදූරදර්ශී තීරණයේ ප්‍රතිඵලය වූයේ පැවැති බදු ගොනු සංඛ්‍යාව 70%කින් පහළ යාම බව අමාත්‍යවරයා සඳහන් කළේය. යළිත් ක්‍රමානුකූලව බදු ගොනු සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම රජය විසින් සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.
ආර්ථිකය ක්‍රමානුකූලව ශක්තිමත් වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ 2023 වසරේ ජනවාරි වන විට පැවැති ඇ.ඩො මිලියන 154ක් වූ සංචාරක ආදායම 2024 ජනවාරි වන විට මිලියන 342 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එසේ ම 2023 ජනවාරි වන විට පැවැති ඇ.ඩො මිලියන 437ක්ව පැවැති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2024 ජනවාරි මාසය වන විට මිලියන 488 දක්වා ඉහළ ගොස් ඇති බව ද පෙන්වා දුන්නේ ය. 2023 ජනවාරි වන විට පැවැති ඩොලර් බිලියන 2.1ක් වූ විදේශ සංචිත ප්‍රමාණය ද මේ වන විට බිලියන 4.5 දක්වා වර්ධනය වූ බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
මේ අතර පරාටේ නීතිය දෙසැම්බර් මස 15 දා දක්වා තාවකාලිකව අත්හිටුවීමට අදාළ කැබිනට් අනුමැතිය හිමි වුව ද ඊට අදාළ නීති සම්පාදනයට යම් කාලයක් ගත වන බවත් එම කටයුතු අවසන් කර හැකි පළමු අවස්ථාවේ දී ම අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.
