පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම සඳහා තෝරාගනු ලැබූ තරුණ නියෝජිතයින්ට එම කාරක සභා පිලිබඳ වැඩමුළුවක් පසුගියදා වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධනය කරනු ලැබූ මෙම වැඩමුළුවේ මුලික අරමුණු බවට පත්වූයේ ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳව තරුණ නියෝජිතයින්ට වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සහ ආංශික අධීක්ෂණ කාරක සභා තුළ ඔවුන්ගේ නියෝජනයෙන් සිදුව ඇති වෙනස පිළිබඳව ඔවුන්ගේ අදහස් ලබාගැනීමයි.
මෙම වැඩමුළුව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය යන මහත්ම මහත්මීන්ගේ මුලිකත්වයෙන් පැවැත්විණි.
මෙදින වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සහභාගී විය.
එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුරලත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නේවාසික නියෝජිත මාලින් හර්විග් යන මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
මෙහිදී “පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හරහා තරුණ පරපුරේ දායකත්වය” යන තේමාව ඔස්සේ ප්‍රධන ආරාධිත, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා විසින් විශේෂ දේශනයක් සිදු කරන ලදී.
