ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වඩා වැඩි කණගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
නීත්‍යානුකූල නොවන රැස්වීමක් පවත්වා වාරණයට ලක් වූ පිරිසක්.. තනතුරුවලට පත් කරගෙන ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද කොළඹ දි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් සදහන් කර සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල කිසිදු වෙනසක් නීත්‍යානුකූල මට්ටමින් සිදු වී නැති බවත් වාරණයට ලක්වෙච්ච කණ්ඩායමක් අනීතික රැස්වීමක් කැඳවලා වාරණයට ලක් වෙච්ච පුද්ගලයන්ව රැස්වීමේදී නැවත වතාවක් තනතුරුවලට පත් කර ඇති බවත් ඔහු සදහන් කරයි .
අපි කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිත්‍යානුකූලව ඉවත් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයකු නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයකු පක්ෂයේ සභාපති කරලා. මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට වඩා දෙයක්. තවත් විදිහකට කියනවා නම් පක්ෂය සමූල ඝාතනය කිරීමක් සිදු කරලා ඔහු වැඩිදුරටත් පැවසුවා .
විජයදාස රාජපක්ෂ මහතා මුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉවත් විය යුතු බවත් විජයදාස රාජපක්ෂ මහත්තයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නෙ ඉන් පසුව බවත් සාමාජිකයකු නොවන පුද්ගලයකුට පක්ෂයේ සභාපති කමක් දරන්න බැරි බවත් ඔහු අවධාරණය කර සිටියා
