විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමට අදාළ යෝජිත කෙටුම්පත වහාම හකුළා ගන්නා ලෙස ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ඊයේ (30 දා) ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් තරයේ ඉල්ලීමක් කර සිටියේය.

මෙම විද්‍යුත් නියාමන කොමිසම ස්ථාපිත කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම සංගමය ඇමැතිවරයා වෙත යැවූ ලිපියෙන් අවධාරණය කර ඇත.

මෙම විද්‍යුත් නියාමන කොමිසම ස්ථාපිත කිරීමට අදාළ කෙටුම්පත සැකසීමේදී ජනමාධ්‍ය සංගම් හෝ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන කිසිවකු සමග සාකච්ඡා කොට හෝ අදාළ අනුමැතීන් ලබාගෙන නොමැති බව ද එම ලිපිය මගින් පෙන්වා දෙයි .

යෝජිත මෙම කොමිසම මගින් භයානක කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇතැයි ද ඉන් නිදහස් ජනමාධ්‍යයට හා ආයතනවලට මෙන්ම මාධ්‍යවේදීන්ටද මරු පහරක් එල්ල වන බවද එම ලිපිය මගින් කරුණු දක්වා තිබේ.

මෙම විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසම ස්ථාපිත කිරීමේදී ඊට සාමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව තිබෙන බවත් එනිසා ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට අභිමත පරිදි මාධ්‍ය පාලනය කළ හැකි වන බවත් ලිපියේ සඳහන්ය.

මෙය මෙරට කම්කරු නීතියටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනි කොමිසමක් බවද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය තරයේ කියා සිටී. මෙමගින් විද්‍යුත් මාධ්‍ය ආයතන හිමිකරුවන්ටද දැඩි ලෙස බලපාන කරුණු ඇතුළත් බවද සඳහන්ය.

මෙම ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කොට විසඳා ගැනීමට පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙත යවන ලද ලිපියේ තවදුරටත් සඳහන් කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page