ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක් මේ වන විට රුපියල් මිලියන 6200 ක බදු මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇත.
දින 14ක සහන කාලය තුළ හිඟ බදු මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
පසුගිය සතියේ සිට මෙම දින 14 කාලය ක්‍රියාත්මක වේ.
මෙවැනි දැවැන්ත හිඟ මුදලක් කෙටි කාලයක් තුළදී අය කර ගැනීම සඳහා මේ හැර වෙන විකල්පයක් නොමැති බවත් මෙය යථාර්තවාදී නොවන බවට ඇතැමකුට තර්ක කළ හැකි බවත් සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
සුරාබදු දෙපාර්තමේන්තුවට එම මුදල අය නොකර ගැනීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන හමුවේ මෙම තීරණය ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ප්‍රධාන සමාගම් 9 ගෙවීමට ඇති මෙම හිඟ බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු 1997 වසර දක්වා වසර 26 ක කාලයක් දිව යන බවත් ඇතැම් සමාගම් පසුගිය වසර කිහිපයක සිට බදු ගෙවීම පැහැර හැර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි .
