මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඉදිරියේදී අවධානය යොමු කළ යුතු අංශ සම්බන්ධයෙන් සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උපදෙස් ලබා ගැනීම සිදු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙම කාරක සභාවේ සභාපතිත්වය දරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලලිත් වර්ණ කුමාර මහතා විසිනි.

මෙම සාකච්ඡාවට කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ හොරණ ශ්‍රී පාලි මණ්ඩපය නියෝජනය කරමින් මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරු පැමිණ සිටියහ.

මෙහිදී ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, නාලිකා ශ්‍රේණිගත කිරීමේ (Ratings) ක්‍රමය, ගුණාත්මකව ටෙලිනාට්‍ය සකස්විය යුතු ආකාරය, මෙරට ජනමාධ්‍ය පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සහ ළමයා සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියාකිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. එසේම ගුණාත්මක මාධ්‍ය දර්ශකයක් සකස්කිරීම වෙනුවෙන් වසර 10ක් අරමුණුකොටගත් ජාතික සැලැස්මක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, නිපුණ රණවක සහ ඉම්රාන් මහරූෆ් යන මන්ත්‍රීවරු මෙන්ම මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි, ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා, ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයන් වන විජයානන්ද රූපසිංහ, සමන්තිකා ප්‍රියදර්ශනී සහ ඉමේෂා ධර්මසේන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page