කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් 2022 වසරේ කෘෂි භෝග නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 1110ක් (ඩොලර් මිලියන 36ක්) උපයා ඇත.

මෙම ව්‍යාපෘතිය ගර්කින්, ඇඹුල් කෙසෙල්, අඹ, අන්නාසි, ගස්ලබු, මුරුංගා පත්‍ර, කොළ පිපිඤ්ඤා, ජම්බෝ පීනට්ස් අපනයනය කරනු ලබන අතර මෙම අපනයන භෝග අතුරින් වඩාත්ම ජනප්‍රියව පවතින්නේ රාජාංගණයේ හා යාපනයේ ඇඹුල් කෙසෙල් සහ වාකරේ වගා කරනු ලබන Green Cucumber හෙවත් කොළ පිපිඤ්ඤායි.

මෙම ව්‍යාපෘතිය මඟින් 2022 වසරේ උපයා ඇති විදේශ විනිමය පිළිබඳව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.

කොළ පිපිඤ්ඤා වගාවේ සම්පූර්ණ අස්වැන්න ජපානයට අපනයනය කෙරෙන අතර ජපානයේ බර්ගර් සඳහා වැඩිපුරම භාවිත කරනුයේ වාකරේ වගා කරනු ලබන කොළ පිපිඤ්ඤා බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහන් කරයි. ඇඹුල් කෙසෙල් සඳහා ඩුබායි හැර තවත් රටවල් ගණනාවකින් විශාල ඉල්ලුමක් පැවතුනත් අපනයනය සඳහා සුදුසු වන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ඇඹුල් කෙසෙල් වගා කෙරෙනුයේ රාජාංගණය හා යාපනය ඇඹුල් කෙසෙල් වගා කලාපවලින් පමණි. එම නිසා තවමත් අනෙකුත් රටවල අවශ්‍යතාව සඳහා අප රටේ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවේ.

එම නිසා රුපියල් මිලියන 150ක වියදමින් මෙම වසර තුළ ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශවල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් අක්කර 400ක වගා කලාප දෙකක් හා කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම කෙසෙල් වගා කලාපවල නිෂ්පාදන සියල්ල අපනයනය ඉලක්ක කර නිසි ප්‍රමිතියට අනුව වගා කිරීමට සැලසුම් කරන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂි නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් දී තිබේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පහසුකම් හා තාක්ෂණික පුහුණුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ගොවි ජනතාවට ලබා දෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page