- ටයිටන් සබ්මැරීනය සොයා අඛණ්ඩව මෙහෙයුම්
- බ්‍රිතාන්‍යයෙනුත් සහායට ගුවන් යානා සහ සබ්මැරීන්
කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු සමඟ ටයිටැනික් නටබුන් බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ගිය ටයිටන් නමැති කුඩා සබ්මැරීනය අතුරුදන්වීමෙන් දින 4ක් ගෙවී ගියද උත්සාහය අත් නොහරින බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය නිවේදනය කර තිබේ. එම බළකායේ තාක්ෂණික විශ්ලේෂකයන්ගේ ඇස්තමේන්තුවට අනුව මේ කුඩා යාත්‍රාවේ ඔක්සිජන් ධාරිතාව ඊයේ පස්වරුව වන විට අවසන් විය යුතුව තිබිණි. එහෙත් අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් මෙන්ම සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටින කණ්ඩායම් ද බලාපොරොත්තු සහගතව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව ප්‍රකාශ කර තිබේ.
ඊයේ පස්වරුව වන විට ගැඹුරු මුහුදු පතුල නිරික්ෂණය කිරීමේ නව තාක්ෂණික උපකරණ රැසක් ද උතුරු අත්ලාන්තික් මුහුදු සීමාවට ළඟාවී තිබූ අතර, මෙහෙයුම් කණ්ඩායම්වල සාමාජිකයන්ගේ වර්ධනයක් ද සිදු වී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගැඹුරු මුහුදු පතුලේ රූප සටහන් කැමරාගත කළ හැකි නවීන පන්නයේ උපකරණ අතර අධිබලැති සෙවීමේ උපකරණ ද ඇති අතර, අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකායේ ඉල්ලීම මත බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සබ්මැරිනයක් ද, ප්‍රවාහන ගුවන් යානයක් ද කේබල් රැහැන් දමා බර උපකරණ එසැවිය හැකි යන්ත්‍ර ද බ්‍රිතාන්‍යයේ සිට උතුරු අත්ලාන්තික් මුහුදට ගුවන් මඟින් යැවීමට බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.
