සතියක් පුරා ජාත්‍යන්තරය කැලඹීමකට ලක් කළ ටයිටැනික් නටබුන් නැරැඹීමේ චාරිකාවට එක් වූ ටයිටන් සබ්මැරීනය මුහුදු පතුලේදී පුපුරා සුනු විසුනු වී ඇතැයි තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළුව පස්දෙනකු රැගෙන පසුගිය ඉරිදා කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි සාන්ත ජෝන් දූපතේ සිට සහායක නෞකාවක ආධාරයෙන් රැගෙන ගොස් ගැඹුරු මුහුදට දියත් කර තිබූ මේ කුඩා සබ්මැරිනය අතුරුදන් වූයේ ඊට පැයකුත්, මිනිත්තු 45කට පසුවය.
දින පහක් පුරා අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය සහ කැනඩාව ඒකාබද්ධව සිදු කළ දැවැන්ත මෙහෙයුම පෙරේදා අවසන් කරනු ලැබුවේ එම යාත්‍රාවේ කැබලි කිහිපයක් සොයා ගැනීමෙන් පසුවය. ඒ සමඟම ටයිටන් සබ්මැරිනය පුපුරා ගොස් එහි සිටි මගීන් ජීවිතක්ෂයට පත් වී ඇතැයි තහවුරු කෙරිණි.
මිය ගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු වන 58 හැවිරිදි හමීෂ් හාර්ඩින්, පාකිස්තාන ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු වන 48 හැවිරිදි ශෙහ්සාදා දාවුඩ්, සරසවි සිසුවකු වන ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා සුලේමාන් දාවුඩ් ද සිටියහ. ඔවුන් තිදෙනාම මේ චාරිකාවට එක් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස්දහසක් ගෙවමිනි. ටයිටන් සබ්මැරීනයේ හිමිකරු වන ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක සහ එම සබ්මැරිනයේ නිර්මාතෘ 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ් සමඟ සාගර පතුලේ කිමිදෙමින් අත්දැකීම් සම්භාරයක් ලැබූ 77 හැවිරිදි ප්‍රංශ ජාතික මුහුදු ගවේෂකයකු වන පෝල් හෙන්රි ද සිටියහ.
ටයිටන් සබ්මැරීනයේ ඇතුළත ඇති ඔක්සිජන් ධාරිතාව දින 4කින් අවසන් වනු ඇතැයි අනුමාන කරමින් මෙහෙයුම් කඩිනම් කළ ද, කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි වූ අමෙරිකානු වෙරළාරක්ෂක බළකායට නිශ්චිත හෝඩුවාව සපයමින් එම සබ්මැරිනයේ සුන්බුන් සොයා ගැනීමට ආධාර වී ඇත්තේ වික්ටර් 6000 නිරීක්ෂණ උපකරණය බවත් වාර්තා වේ. සොයා ගත් කැබලි අතර ටයිටන් සබ්මර්සිබලයේ වල්ගා කොටස, ඉදිරිපස කුඩා කොටසක් සහ බඳ කොටසක් ඇතුළු කුඩා සුන්බුන් තිබූ බව වාර්තා වේ. එදිනම පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත් වූ අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ රියර් අද්මිරාල්වරයා ටයිටන් සබ්මර්සිබල මුහුදු පතුලේදී පුපුරා විනාශ වූ බවත්, එහි ගමන් ගත් සියලුම පුද්ගලයන් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මගීන් පස්දෙනාගේ මළ සිරුරු සොයා ගැනීමේ දුෂ්කරතාව පිළිබඳ සඳහන් කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය ප්‍රකාශ කරමින් එම මෙහෙයුම් අවසන් කිරීමට වෙරළාරක්ෂක බළකාය පියවර ගත් බව ද වාර්තා වේ.
