රුමේනියා අගනගරය වන බුකරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ට්‍රයින් රිස්ටී (Traian Hristea) මහතා ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කළේය.

ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව, ආයෝජන සහ රැකියා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, රුමේනියානු විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා අතර පසුගියදා (25) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී රුමේනියානු විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියානු රජයට අගමැතිවරයා සිය ස්තූතිය පළ කළ අතර රුමේනියාව 2016 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් ජනප්‍රිය රැකියා ගමනාන්තය වේ. එහි ඇඟලුම්, ඉදිකිරීම්, හෝටල් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය 32,000 කට වඩා වැඩි බව වාර්තා වේ.

රුමේනියාව මේ වන විට මහා පරිමාණ යටිතල පහසුකම් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටින බැවින් එමගින් ශ්‍රී ලාංකිකයන් සඳහා අමතර රැකියා අවස්ථා හිමිවනු ඇති බව රාජ්‍ය ඇමැති ට්‍රයින් රිස්ටී මහතා පැවැසීය.

අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස අගමැතිවරයා රුමේනියාවෙන් ඉල්ලා සිටියේය.

වත්මන් ආර්ථික අර්බුදයට අදාළ ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළ ඒ මහතා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහාය මෙරටට අවශ්‍ය බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP ප්ලස් තීරුබදු සහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව කරන ඉල්ලීමට තම රට සහාය දෙන බවට රුමේනියානු රාජ්‍ය ඇමැතිවරයා සහතික විය.

මේ හමුවට කොළඹ රුමේනියානු තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ආචාර්ය වික්ටර් චියුජියා, රුමේනියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ඩයනා ටේස්, එහි උපදේශක බොග්ඩන් ඇල්ඩියා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ආචාර්ය ජයන්ත ජයමාන්න, සුගීස්වර සේනාධිර මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page