නව තරග විභාගයක් පැවැත්වීමකින් තොරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත්වීම් සිදු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 2019 වසරේ පවත්වන ලද තර. විභාගය පදනම් කරගෙන අදාළ පත්වීම් සිදු කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.
එම පෙත්සම් විභාගය අවසන් වන තෙක් මෙම අතුරු තහනම් නියෝගය බල පැවැත්වේ.
විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
ශ්‍රී ලංකා ගුරු සේවයට අයත් දෙවන ශ්‍රේණියේ ගුරුවරයකු වන පූජ්‍ය බුද්ධං කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් විසින්
මෙම පෙත්සම ගොනුකර තිබුණි.
පෙත්සම්කාර හිමියන් රත්නපුර, අමුහේන්කන්ද, ශ්‍රී විමලසාර විද්‍යාලයේ සේවය කරනු ලබන බවද, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරු 1918 පිරවීමට අදාළව 2019 වසරේ පෙබරවාරි මස 13 දා තරග විභාගයක් පැවති බවද පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අවස්ථාවේදී අනාවරණය විය. එම විභාගය සඳහා අපේක්ෂකයන් 23000 ක් පෙනී සිටි අතර ඉන් 3881 දෙනකු සමත් වූ අතර, ඒ අතරින් 1918 දෙනකුට පත්වීම් ලබා දුන් බව සඳහන් විය.
දැනට විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා වන ගැසට් නිවේදනය ඉකුත් මැයි මස 8 වනදා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය අනුව 2019 වසරේ පවත්වන ලද තරග විභාගය සමත් වූවන්ගෙන් පුරප්පාඩු 4718 පිරවීමට නියමිත අතර එමඟින් සෙසු අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදු වන බව සඳහන් කෙරිණ. වගඋත්තරකරුවන්ගේ මෙකී තීරණය නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සම්කාර හිමියන් මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත. එසේම නව තරග විභාගයක් පවත්වා නව පත්වීම් ලබා දෙන ලෙස අධ්‍යාපන බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එලෙස නව බඳවා ගැනීම් සිදු කිරීම අත්හිටුවීමට තීරණය කළ අතර පෙත්සම් විභාගය නොවැම්බර් මස 6 වනදා ඇරඹීමට නියම කළේය.
