ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල සාකච්ඡාවක් සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේ දී සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දෙදින නිල සංචාරයක් සදහා සිංගප්පූරුව වෙත ගිය අවස්ථාවේ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඉතා සුහදශීලිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගත් අතර ඔවුන් දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම පිළිබඳව හා දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ද නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කලා.
පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිමද මෙහිදී සිදු කෙරුණි .
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු ද ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.
