කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදිරාන ග්‍රාමසේවක වසමේ ඉඹුල්ගස්වාඩිය අක්කර 60ක් පමණ රජයේ ඉඩමක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු එකතු වී කූඨ ලෙස කුණුකොල්ලයට ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතට පැවරී ඇති මෙම ඉඩමේ දැනට කටාන පොලිස් ස්ථානය, සමුපකාර ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය ජලසම්පාදන කාර්යාලය, පශු වෛද්‍ය කාර්යාලය, එම්.ඩී.එච්. කාර්යාලය, කටාන ප්‍රාදේශීය සභාව, කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රතු කුරුස කාර්යාලය, තැපැල් කාර්යාලය ඇතුළු රාජ්‍ය ගොඩනැගිලි පවත්වා ගෙන යන අතර මෙය දැනට හලාවත වැවිලි සමාගමට 2045 වසර දක්වා බදු ගිවිසුමක් යටතේ පවරා දී තිබේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රජයට පවරා ගත් ඉඩම් වෙනුවෙන් අධිකරණ නියමයකට අනුව ඔහුට අක්කර පනහක ඉඩමක් වෙනත් ප්‍රදේශයකින් ලබා දීමට නියම වූ අතර ඔහු ඒ සඳහා ඉඩම් අක්කර 25ක් රජයෙන් ලබාගෙන ඇති අතර ඊට අමතරව අනෙක් ඉඩම් අක්කර 25 මෙම ඉඩමෙන් ලබාදීමට ඉඩම් අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
