මීගොඩ පොලිස් වසමේ හල්කඳවත්ත ප්‍රදේශයේ රාත්‍රී හොරෙන් කෙසෙල් කැන් කැපීමට පැමිණි තරුණයන් තිදෙනෙකු බියවී පුස්ඇලි ඔය හරහා පලා යෑමට ගත් උත්සාහයේ දී එක් තරුණයෙකු ඔයේ ගිලී අතුරුදහන් වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

වයස අවුරුදු 21 ප්‍රමාණයේ පසු වන මොවුන් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයන් වන අතර පාදුක්ක සහ මොරගහහේන පොලිස් වසම්වල පදිංචි මොවුන් තිදෙනා 27 දින රාත්‍රී හල්කඳවත්ත ප්‍රදේශයේ කෙසෙල් කැන් හොරෙන් කැපීමට පැමිණ ඇත.

මොවුන් අදාළ ස්ථානයේ රැඳී සිටින විට, ධාවනයවූ වාහනයකට බියවී රබර් වත්තක් හරහා දුවගොස් පුස්ඇලි ඔයෙන් එගොඩවී පලායෑමට ගත් උත්සාහයේදී එක් තරුණයකු ඔයේ ගිලී ඇති අතර අනෙක් දෙදෙනකු ඔයෙන් එගොඩවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් පසු රාත්‍රි 12.00ට පමණ මීගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාවිසින් ක්ෂණිකවම දියේ ගිලී අතුරුදහන්වූ තරුණයා සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

මේ දිනවල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම පුස්ඇලි ඔයේ ජලය වැඩිවීමත්, අධික සැඩ පහර නිසාත් 28 දින අලුයම වනතුරුත් අතුරුදහන් වු තරුණයා සොයා ගැනීමට නොහැකිවූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page