ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති කොමුරා මසහිරෝ මහතා පවසයි .

අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

කෙටි කාලයක් තුලදී ආර්ථිකය ස්ථාවර පත් කිරීමට හැකි විම පිළිබඳව හා මේ වන විට අත්කර ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ කරන බව ද ඔහු සදහන් කරයි .

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරය අතරතුර ද්වි-පාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික නායකයන් සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණු බවත් . ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන වසර දෙකක ධුර කාලය අතරතුර දී ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබා දෙන බවටද නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහතික විය.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ගවල උපායමාර්ගික සන්ධිස්ථානයක පිහිටා ඇති අතර, නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් ප්‍රතිපත්තියක් සාක්ෂාත් කර ගැනිමේ වැදගත් හවුල් කරුවෙකු වන බවද මෙහිදී සඳහන් කලා

ගාසා තීරයේ ගැටුම් උත්සන්න වීම පිළිබඳව දැඩි සැලකිල්ල පළ කළ අගමැතිවරයා කොවිඩ් වසංගතය ගෝලීය ආර්ථික පසුබෑමකට හේතු වූ බවත්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට යුද ගැටුමක් හේතුවෙන් තවත් එවැනි ව්‍යසනයකට මුහුණ දිය නොහැකි බවත් කීවේය. ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස අගමැතිවරයා ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවට දුන් සහයෝගය පිළිබඳව ජපාන ඇමැතිවරයාට ස්තූති කළ අගමැතිවරයා විනිවිද පෙනෙන සහ තුලනාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවට සහතික විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කළ ජපාන ඇමැති කොමුරා මසහිරෝ ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පූර්ණ සංවර්ධනයේ නිවැරදි මාවතට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි,( Mizukoshi Hideaki) නියෝජ්‍ය ඇමැතිවරයාගේ ලේකම් නනාවෝ එයිචිරෝ, (Nanao Eiichi) නිරිතදිග ආසියානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ත්සුට්සුමි ටාරෝ, (Tsutsumi Taro) හා අධ්‍යක්ෂ ටොකිටා යුජි ( Tokita Yuji) නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.

ඇමැති රොෂාන් රණසිංහ, රාජ්‍ය ඇමැතිවරුන් වන සිසිර ජයකොඩි, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න යන මහත්වරු ද මේ හමුවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page