සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාව නීතිඥවරුන් කණ්ඩායමක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඊයේ (09) දින ගෝල්ඩන්කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර සිටියා .

ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ මෝසමක් අද කැඳවූ අවස්ථාවේදී එම සංගමයේ සභාපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කර තිබුණි.

එස්. තුරෛරාජා, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

එම මෝසම කැඳවූ අවස්ථාවේදී ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ,

ලලිත් කොතලාවල මහතා මිය යාමට පෙර නීතිඥවරුන් කණ්ඩායමක් විසින් ඔහුව ඔහුගේ නිවසේ නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබුණු බවය.

ඒ පිළිබඳව සහ තම තැන්පතු පිළිබඳව කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටි ආතර ඊට පිළිතුරු දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෛරාජා මහතා කියා සිටියේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණය බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඕනෑම පුද්ගලයෙකුට පැමිණෙන ඕනෑම අවස්ථාවක කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවත් පෙන්වා දි ඇත

විනිසුරුවරයා අතරමැදි පාර්ශ්වකරුවකු වශයෙන් ඊට අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබේදැයි විමසා සිටි අවස්ථාවේ ඔහු සඳහන් කළේ එවැනි අවසරයක් ලබාගෙන නොමැති බවයි.

ඒ අනුව මෝසමක් ගොනු කොට නිසි අවසරය ලබාගෙන ඊට අදාළව ඉදිරියේදී කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා ගෝල්ඩන් කී සංගමයේ සභාපතිවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම මැයි මස 08 වනදා දක්වා කල් තබන ලදි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page