උතුරු පළාතේ ව්‍යාපාරිකයන්ගේ ගැටළුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබා දෙනවා _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ….

උතුරු පළාතේ ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටළුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබාදෙන බව යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ ඊයේ (06) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියා .

අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් ඉදිරි සති 02 තුළ උතුරට පැමිණ ඒ පිළිබඳ සොයා බලනු ඇති බවත් උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටළු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කලා.

උතුරු පළාතේ කර්මාන්ත කරුවන්, ධීවර ප්‍රජාව සහ ගොවි ජනතාව 300ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර තම කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු හා නව යෝජනා ඕව්හු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල අතර එම සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට පියවර ගනු ලැබුවා

උතුරු පළාතට කර්මාන්ත කලාපයක් ලබා දෙන ලෙස මෙහිදී කර්මාන්තකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර ඊට අවශ්‍ය භූමි ප්‍රදේශයක් සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එසේම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් උතුරු පළාතට කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

උතුරු පළාත ජාතික ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීම සඳහා ව්‍යාපාර සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළව මතුව ඇති ගැටළු කඩිනමින් නිරාකරණය කරන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද අද (06) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සට්කුනරාජා මහතා ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩල මීට එක්ව සිටී අතර යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වූ සංවර්ධන සැලැස්මද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

නවීන තාක්ෂණ සමඟ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.

එහිදී පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීම වෙනුවෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද යොදා ගැනීමට ඇති හැකියාවත්, අවශ්‍ය නම් ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස කටයුතු කර විශ්‍රාම ලැබූ ඩයස්පෝරා සාමාජිකයන්ගේ ද සහාය ලබා ගැනීමේ හැකියාවත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයාදීමට කටයුතු කළ හැකි බවද වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ඉන්දියාව සහ එක්සත් ජනපදය වැනි රටවල විශ්වවිද්‍යාල සමග කථිකාචාර්යවරුන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන්වලට එළැඹිමේ හැකියාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විදේශීය සිසුන්ද ආකර්ශණය කර ගත හැකි පරිදි මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම රජයේ අරමුණ බවත්, නව විශ්වවිද්‍යාල ද ස්ථාපිත කිරීමෙන් පසුව ඉදිරියේදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පරිවර්තනීය වෙනසක් ඇති වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. ශිවබාලසුන්දරන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ද, වව්නියා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටී.මංගලේශ්වරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page