අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ජූලි මස 11 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි .
මෙම පෙත්සම අද (11) ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසියටත් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ සංශෝධිත පෙත්සම තමන් වෙත මේ වන විට ලැබී නොමැති බවයි
කිසිදු සාධාරණ සාක්‍ෂියක් නොමැතිව රැඳවුම් නියෝග මත තමන්ව රඳවා ගැනීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට එරෙහි රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් නම් කර තිබේ.
