පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවා තිබෙන බව සදහන් වේ.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැංවීම කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුදල් මණ්ඩලය විසින් බව සදහන් වේ.
ඒ අනුව මහ බැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712,179කින් නංවා තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු දීමනා සහිතව මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත්දහස් එකසිය හතළිස් හතරයි සත පනස්හයක (1,687,144.56)ක් ලෙස සදහන් වෙයි.
ඒසෙම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයකුගේ මීට පෙර මූලික වැටුප වූයේ රුපියල් 34,235 ක් වන අතර සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණ මාසික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්හතරදහස් හැත්තෑහයයි සත හයකි. එහෙත් නව වැටුප් වැඩිවීමට අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805 දක්වා එනම් රුපියල් 21570කින් වැඩිවී සියලු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයකු ලබන මාසික වැටුප රුපියල් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය අසූඅටකි. (183388)
කළමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු දීමනා ද සහිතව රුපියල් 62,797කින් වැඩි වී ඇත. ඔවුන්ගේ පෙර පැවැති මූලික වැටුප රුපියල් 57035කි. නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව රුපියල් 235,035 ක් වේ.
පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ අසූහතරදහස් පන්සිය හැටනවයයි සත අසූවකින් (184569.80) ඉහළ ගොස් ඇති අතර . අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ වැටුපද රුපියල් පන්ලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් නවයකින් (522,359) වැඩිකර ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද සියයට හැත්තෑවකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබේ. මේ අනුව විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 55,000 කින් පමණ වැඩි වීමට නියමිත වේ.
