රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග භාර නොගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය හේතුවෙන් රටේ ආර්ථිකය යළිත් ස්ථාවර වී තිබෙන බවත්, ඉදිරියේ තිබෙන අභියෝග සඳහා ද මුහුණ දී රට තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් සාගල රත්නායක සඳහන් කර සිටියා

මාබිම ප්‍රදේශයේ ස්ථාපිත කළ ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින් ඔහු මේ බව සදහන් කලා.

මීට වසර දෙකකට පෙර මෙවැනි නූතන තාක්ෂණයෙන් යුත් අංගනයක් ලිට්‍රෝ සමාගමට ඉදිකරන්නට හැකිවෙයි කියා හිතන්න හැකියාවක් තිබුණේ නැහැ. ලිට්‍රෝ සමාගමට නරක කාලයක් තිබුණා. ගෑස් සිලින්ඩර් පිපිරීම් ඇති වුණා. ජනතාව ගෑස් ගන්න පෝලිමේ හිටියා. රජයට විදේශ විනිමය පමණක් නොව අපේම විනිමය පවා තිබුණෙත් නැහැ. එවැනි අසීරූ කාලයක් අප පසු කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිසි නායකත්වය නිසා විදේශ රටවලින් සහාය ලැබුණා.

එදා ලිට්‍රෝ සමාගම රජයට බරක්ව තිබූ සමාගමක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසු සමාගමේ කළමණාකාරීත්වය වෙනස් කළ නිසා සමාගම අද මේ තත්ත්වයට පත්වී තිබෙනවා. ලිට්‍රෝ සමාගමේ සාර්ථකත්වය හේතුවෙන් ලෝක බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 26ක ණය මුදල මාස හයක් ඇතුළත ගෙවන්න හැකියාව ලැබුණා. පසුගිය වසරේ රුපියල් බිලියන 3ක් ලිට්‍රෝ සමාගම විසින් රජයට ලබා දී තිබෙනවා.

දැන් ජනතාවට පෝලිම්වල ඉන්නේ නැතිව ගෑස් ලබාදීමට හැකියාව තිබෙනවා. ඉතා අභියෝගාත්මක කාලයක් පසු කරමින් සාර්ථකත්වයට පත්ව තිබෙන ලිට්‍රෝ සමාගමට නායකත්වය ලබාදෙන සභාපති මුදිත පීරිස් මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට, කාර්ය මණ්ඩලයට, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කර සිටිනවා.

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අවශ්‍යයි. රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක්. ලිට්‍රෝ සමාගමත් එදා පාඩු ලැබූ ආයතනයක්. නමුත් අද ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. රටක් වශයෙන් අපි තව වේගයෙන් ඉදිරියට යා යුතුයි. රට කඩාවැටුණු අවස්ථාවේ ජනතාවගේ ජීවන වියදම වැඩි වුණා.

අද සියලුම සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී රටක් වශයෙන් හොඳ ආර්ථික වර්ධනයක් කරා යොමුව තිබෙනවා. ආර්ථික අර්බුදයකට ලක්ව, අවුරුදු දෙකකට පසු ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් ලෙස පරිවර්තනය වී තිබෙනවා. රුපියල වේගයෙන් ශක්තිමත් වෙමින් තිබෙනවා. රට ස්ථාවර වීම පමණක් නෙවෙයි උද්ධමනය පාලනය වෙමින් තිබෙනවා. ඒත් ඉදිරියට ද තවත් අභියෝග තිබෙනවා.

විදෙස් විනිමය තවත් වැඩි කර ගැනීමට සංචාරක වැඩසටහන් තව දියුණු කළ හැකියි. සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස අපේ වරායන් දියුණු කළ යුතුයි. නිෂ්පාදන කර්මාන්ත තුළින් අපට තවත් දියුණු විය හැකියි. විදුලි බලය පවා අපනයනය කළ හැකියි. කෘෂිකර්මාන්තය ද දියුණු කළ හැකියි. මෙවැනි අවස්ථා ගණනාවක් අපට තිබෙනවා. මේ සඳහා අවශ්‍ය මානව සම්පත ද අපට සිටිනවා.

ලිට්‍රෝ සමාගම නූතන ලෝකයට ගැළපෙන ලෙස කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මේ විදිහට අනිකුත් ආයතනවලටත් කටයුතු කරන්න පුළුවන්. රජයට වැඩපිළිවෙළක් තිබුණත් මේ සඳහා සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි. රට නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා අපි දැඩි තීන්දු තීරණ ගත්තා. ප්‍රශ්නවලට හැමෝම මුහුණ දුන්නා. ප්‍රශ්නවලින් පැන නොගිය නිසා රට අද හොඳ තැනකට ඇවිත් තිබෙනවා. අඩුපාඩු තිබෙනවා නම් සාකච්ඡා කර නිවැරදි කර ගත යුතුයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page