ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි …

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා….

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල මේ වන විට වර්ජනයක නිරතව සිටිනවා. මෙය අවාසනාවන්ත කරුණක් බව කිව යුතුයි. මෙමඟින් පීඩාවට පත්වන්නේ අනාගත ශිෂ්‍ය පරම්පරාවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රුපියල් මිලියන 150 ක පමණ සෘජු මූල්‍ය පාඩුවක් සිදු වනවා. එය මිනිස් කාලය අනුව මිලියන 1.8ක අපතේයාමක් බව පැවසිය යුතුයි. ඒ නිසා අප රජයට තව පැයක්වත් නාස්ති කිරීමට අවශ්‍ය නැහැ.

මෙම වෘත්තීය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් ඉටු කිරීම සඳහා ඉදිරි මාස හය සඳහා රුපියල් බිලියන 1.1 ක් අවශ්‍ය වනවා. මා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සමඟ ද සාකච්ඡා පැවැත්වෙනවා.

වැඩවර්ජනයේ යෙදී සිටින වෘත්තීය සමිති නායකයන් සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කිරීමට නියමිතයි.

අපගේ අපේක්ෂාව වන්නේ දෙපාර්ශ්වයම එකඟ විය හැකි මැද මාවතේ විසඳුමකට පැමිණීමයි. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වෙනවා.

ඒ වගේම මෙරට උසස් අධ්‍යාපනය ද වෙනස් විය යුතුයි. මම පසුගිය දා ගෝලීය උසස් අධ්‍යාපන සමුළුවට සහභාගි වුණා. නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව උසස් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව බොහෝ රටවල මතය වී තිබෙනවා. ඒ අනුව අප ද ගමන් කළ යුතු බව මාගේ අදහසයි.

එමෙන්ම ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතිනවා. එමෙන්ම අප රටේ සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට අපේ රටේ උසස් අධ්‍යාපනය දියුණු කළ යුතුයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page