මිට මාස දෙකකට ඉහතදී ඩුබායිහි හෝටලයක ඇති වූ ගැටුමකින් පසු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණු මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක්කටාගේ මස්සිනා බව කියන මිදිගම රුවන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) මෙරටට ගෙන එන ලදි..

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් මත සිටි මෙම පාතාල අපරාධකරුවා ඊයේ අලුයම 6.20ට ඩුබායි සිට පැමිණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් මෙරටට රැගෙන එනු ලැබීය.

31 හැවිරිදි වියේ පසුවන ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් ‘මිදිගම රුවන්’ නමැත්තා දැඩි ආරක්ෂාව යටතේ ත්‍රස්ත විමර්ශන මූලස්ථානය වෙත රැගෙන ගිය අතර ඔහු එහි රඳවාගෙන මෙ වන විට ප්‍රශ්න කරමින් ඇත.

හරක්කටා ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ඔහුගේ මස්සිනා වන මිදිගම රුවන් විසින් බව පොලිසිය සදහන් කරයි .

හරක්කටාට පැන යාමට මිදිගම රුවන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නින්ද යෑමට බෙහෙත් ලබාදී එම දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකුගේ ද සහාය ලබාගෙන හරක්කටාට පලා යෑම සඳහා සියලු සැලසුම් සකස් කර තිබුණු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගිය පසු ඔහුව මාතර දක්වා යෑමට වෑන් රථයක් ද එතැන් සිට මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා යෑමට බෝට්ටුවක් ද සූදානම් කර තිබුණු බවද හෙලිදරව් වී ඇත.

හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමේ දෙවැනි මෙහෙයුම ලෙස හමුදාවෙන් ඉවත් වූ කොමාන්ඩෝ සෙබළුන් පිරිසක් යොදා ප්‍රහාරයක් එල්ල කිරීම සැලසුම් කළේ ද මිදිගම රුවන් විසින් බවත් එම මෙහෙයුම ද ව්‍යාර්ථ වූ අතර ඊට සම්බන්ධව සිටි හිටපු කොමාන්ඩෝ සෙබළු පිරිසක් අත්අඩංගුවට පත්වූහ.

මෙරටට රැගෙන ආ මිදිගම රුවන් මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බව පොලිසිය පවසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page