වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට ආසන්නයේ පොළොව යට ඇතැයි කියන නිධානයක් සොයා මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අධිකරණ නියෝගයකට අනුව සිදු කළ තෙදිනක කැණීම් කටයුතු පෙරේදා (23දා) සවස අවසන් කළ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

බැකෝ යන්ත්‍ර 2ක් යොදා ගනිමින් දින 3 ක් තිස්සේ සිදුකරන ලද මෙම කැණීම අනුව ඒවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් හමු නොවු බවත් කැණීම් කළ ස්ථානය පරිලෝකන පරීක්ෂාවකට ලක්කරනු ලැබූවද එවැනි කිසිදු දෙයක් එම යන්ත්‍රය මගින් පෙන්වා දි නැත.

වසර ගණනාවක සිට විවිධ පිරිස් විවිධ අවස්ථාවලදී මෙම ස්ථානයේ නිධන් හෑරීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට සිදුවන හානි වළක්වා ගැනීම අරමුණු කරගනිමින් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත වේයන්ගොඩ පොලිසියේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදුකෙරිණි.

ඒ අනුව පසුගිය 21 වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා පතල් සමීක්ෂණ කාර්යාංශය, රජයේ රසපරීක්ෂක කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, වේයන්ගොඩ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු ඇරඹිණි.

වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ පිහිටි මෙම ස්ථානය නිධන් වස්තු ඇති බවට ඇතැමුන් තුළ මත පවතින බවත් එම ප්‍රදේශවාසීහු කියා සිටියහ.

ඒ අනුව අදාළ ස්ථානයේ නිධන් වස්තු සොයා වරින් වර කැණීම් කළ බව කියන චීවරධාරියකු ඇතුළු නවදෙනකු දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙසට අධිකරණය නියෝග කර ඇත …

වේයන්ගොඩ පොලිසිය සඳහන් කළේ සිදු කරන ලද මෙම කැණීම් සම්බන්ධව අඟහරුවාදා (26දා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ නිධන් තියෙනවා කියලා වැරැදි මිථ්‍යාවක් යනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලංකාව පුරාම කැණීම් කරලා තියෙනවා. ඔය කියන මහා අනර්ඝ වස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමුවෙලා නැහැ. මේ රටේ ඉතිහාසය විවිධ තැන්වල තියෙන්න පුළුවන් නිර්මාණ විදිහට. එවැනි නිර්මාණ ඔබ සියලු දෙනා විනාශ කරන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මිථ්‍යා විශ්වාස පස්සෙ යන්න එපා.

මේ අතර මෙම කැණීම් කටයුතු හේතුවෙන් යෝජිත අධිවේගී මාර්ගයට අදාළ ස්ථානවලට වූ හානියට අදාළ මුදල් මාර්ග සංවර්ධන අධිකාරිය අය කරගන්නේ කෙසේද යන්න ඔවුන්ට ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

එසේම නිධන් සිද්ධියට චෝදනා ලැබ සිටින බලවත් පුද්ගලයකුගේ නිර්දෝෂී බව තහවුරු කිරීම සඳහා මෙම සිද්ධියට අදාළ පැමිණිලි සකස් කළේද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට ජනතාව අතරේ කුකුසක් ද හටගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page