කප්පම් ගැන්මේ චේතනාවෙන් ගම්පොළ ප්‍රදේශයේ දි 19 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ දියණියක් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දවුලගල හා ගම්පොළ පොලිස් ස්ථාන මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමග දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර ඇත.

රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි ,සිසුවිය පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින තරුණයා පසුව එය ලක්ෂ 30 දක්වා අඩුකර ඇත.

අනතුරුව සිසුවියගේ පියා සතු වෑන් රථය ඉල්ලා තිබෙන ඔහු, ලක්ෂ 02ක මුදලක් ගිණුමට බැර කරන ලෙස දැනුම් දී තිබු අතර එයට ප්‍රතිචාර දක්වමින් සිසුවියගේ පියා රුපියල් 50,000ක මුදලක් අදාළ ගිණුමට බැරකර ඇත.

පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා සිසුවියගේ මස්සිනා බවත් සිසුවිය පාසල් නිල ඇදුමින් සැරසී මිතුරිය සමග පංතියට යමින් සිටියදී, ඔවුන් එන අතරමග නතර කර තිබෙන වෑන් රථයෙන් බසින ඇගේ ඥාති සහෝදරයා බලහත්කාරයෙන් ඇයව වෑන් රථයට නන්වා ගන්නා අයුරු CCTV කැමරාවල පැහැදිළිව සටහන්ව ඇත .

එම අවස්ථාවේ තරුණයෙකු ඇයව බේරා ගැනීම සඳහා වෑන් රථයේ එල්ලී මීටර් 500ක පමණ දුරක් ගමන්ගෙන තිබෙන අතර, ඔහුට පහර දී බිම දැමු සැකකරු පලා ගොස් අදාළ වෑන් රථය පොළොන්නරුව නගරය ආසන්නයේ අතහැර දමාගොස් තිබියදී පොලීසිය සොයා ගෙන ඇත.

19 හැවිරිදි සිසුවිය සැකකරුගේ මවගේ සහෝදරයාගේ දියණිය බවත්, සැකකරු පැහැරගැනීමට ලක් වූ තරුණිය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිට ඇති බවත් කලක් ජපානයේ රැකියාවක නිරත සැකකරු මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින බවද සිසුවියගේ පාර්ශවය පවසයි .

සිසුවිය පැහැරගත් අවස්ථාවේ වෑන් රථය පැදවූ දවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අතහැර දමා යළි නිවසට පැමිණෙමින් සිටියදී දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම පැහැරගැනීම සිදුකළ වෑන් රථය වාහන කුළියට ලබාදෙන ස්ථානයකින් ලබාගෙන තිබූ අතර, එහි සවිකර තිබූ GPS තාක්ෂණ උපාංගයෙන් වෑන් රථය සොයා ගැනීම පහසු වූ බව පොලීසිය සදහන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page