ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අනුව රජය ජූනි මස අවසන් වන විට ඉටුකළ යුතු කාරනා 8 ක් මෙතෙක් ඉටුකර නැතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

2023 ශ්‍රී ලංකාව අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ලිපිය අනුව එම අරමුදලේ අනුමැතිය හිමිවූ ණය වැඩසටහනේ හඳුනාගත් කැපවීම් ප්‍රගතිය මනින ‘අයි.එම්.එෆ්. මීටරය’ නමැති දර්ශකය අනුව වෙරිටේ රිසර්ච් ආයතනය මේ බව සඳහන් කර ඇත.

ඉටුකළ යුතු නමුත් නිසි කලට ඉටු නොකළ කාර්යයන් සංඛ්‍යාව මැයි මාසය අවසන් වන විට 4ක් ලෙස පැවති බව ත් ජූනි මාසය අවසන් වන විට එය 8ක් දක්වා දෙගුණයකින් ඉහළගොස් ඇති බව ත් මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් මෙතෙක් එකඟ වූ කැපවීම්වලින් නිසි කලට ඉටු කර ඇත්තේ 33ක් පමණක් බව ත් එම ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

බදු ආදායම රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ දැමීම, ඔට්ටු සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ දැමීම, මහ බැංකු පනතට අනුමැතිය ලබා ගැනීම හා මූල්‍ය විනිවිදභාවය ප්‍රකාශිත වන අයුරින් මාර්ගගත වේදිකාවක් පිහිටුවීම යන ඉලක්ක මැයි මාසයේ අවසානය වන විට පැවතියේ අර්ධ වශයෙන් ඉටු වූ තත්ත්වයක බව සඳහන් කරන වෙරිටේ රිසර්ච් ආයතනය අයි.එම්.එෆ්. මීටරය අනුව ජූනි මාසය අවසන් වන විට ත් ඒවායේ ප්‍රගතියක් නැතැයි සඳහන් කරයි.

රජය සතු ප්‍රධාන ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම, නව දූෂණ විරෝධී නීති පැනවීම, 2022 සඳහා රාජ්‍ය සතු ප්‍රධාන ව්‍යවසායන් 52 හි වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්කිරීම සහ ආනයනය සීමා කිරීම් ක්‍රමයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් සකස් කිරීම ජූනි මාසයේ ඉටුකර නොමැති ඉලක්කවලට අයත් වේ.

, මෙම මැනීම්වලට අනුව ශ්‍රී ලංකාව නීති සම්මත කිරීම සහ තොරතුරු බෙදා හැරීම යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධයෙන් අසාර්ථක වී ඇති බව ත් වෙරිටේ ආයතනය කියයි.

මාර්තු සහ ජූනි අතර කාලය තුළ ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරීමට, ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක කිරීමට සහ නව දූෂණ විරෝධී පනත සම්මත කිරීමට ආණ්ඩුව කැපවී සිටි නමුත් මෙම කෙටුම්පත් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා දීම සහ ඒවා බලාත්මක කිරීම තවමත් සිදුකර නැති බව වෙරිටේ රිසර්ච් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page