2023 වසරේ ජුලි මාසය අවසන් වන විට සංචාරකයන් 763,000 ක් පැමිණ ඇති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 800ක ආදායමක් ලබා ඇති බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය .

2022 ට සාපේක්ෂව මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම සියයට 205 ක වර්ධනයක් සිදුවී ඇති බවත් රටේ ආර්ථිකය ගොඩඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි .

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව පෙන්වා දුන් ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් අවධාරණය කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙසේද පැවසුවාය,

පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරය ඉතාම කනගාටුදායක තත්ත්වයකට ඇද වැටිලා තිබුණා. රටේ පැවැති ආර්ථික අර්බුදය හා අරගලය නිසා සංචාරකයන් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට පත් කරගත්තේ නැහැ. විවිධ රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර තිබුණා.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනය සමඟ රටේ තිබුණු පෝලිම් යුගය අවසන් වුණා. ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතිනවා. ඒ සමඟම සංචාරක ක්ෂේත්‍රයටත් සුභ තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් සහ මඟපෙන්වීම ද ඉවහල් වුණා.

මෙමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සංචාරක ක්ෂේත්‍රය විසින් සපයා තිබෙන බව සඳහන් කළ යුතුයි. විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යාමත් මෙමඟින් සිදු වී තිබෙනවා.

ඒ වගේම පසුගිය කාලයේ එංගලන්තය, රුසියාව, ජර්මනිය සහ ප්‍රංශය රටවලින් ශ්‍රී ලංකාවට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා. එම පැමිණීම දිගටම පවත්වා ගැනීමට අප කටයුතු කළ යුතුයි.

සංචාරක ව්‍යාපාරය ගැන කතා කරද්දී අමාත්‍යංශයකින් සිදු කරන්න පුළුවන් 10% ක ප්‍රමාණයක් විතරයි. අනෙක් සියල්ල පෞද්ගලික ආයතන සහ පුද්ගලයන්ගේ මැදිහත්වීම් හරහා සිදුකළ යුතුයි.

මේ සියලුම ප්‍රවර්ධන වැඩසටහන් වලින් සංචාරක ව්‍යාපාරය ගොඩනඟමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page