වී වගාව සඳහා අවශ්‍ය ජලය සමනල වැව ජලාශයෙන් මුදා නොහැරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ පසුගිය 07 වැනිදා ගොනුකරනු ලැබූ පෙත්සම අද (9) දින උදේ 11.30ට මානව හිමිකම් කොමිසම හමුවේ විභාගයට ගනු ලැබිය.
අද දින කරුණු දැක්වීම සඳහා කෘෂිකර්ම, වාර්මාර්ග සහ විදුලිබල යන අමාත්‍යංශවල ඉහළ නිලධාරීන් කැඳවා තිබුණු අතර ගොවි ජනතාවට වැරැද්දක් සිදු වූ බවත් මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීමට වගබලා ගන්නා බවත් කෘෂිකර්ම, වාර්මාර්ග, විදුලිබල අමාත්‍යාංශවල නිලධාරීන් මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.
වගාවට අවශ්‍ය ජලය මුදා නොහැරීමට කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට වී ගොවිතැන විනාශයට පත්ව ඇති ආකාරය පිළිබඳව මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්වූ අතර එහිදී ගොවි ජනතාවට වැරැද්දක් සිදු වූ බවත් මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීමට වගබලා ගන්නා බවත් මානව හිමිකම් කොමිසම හමුවේ රාජ්‍ය නිලධාරීන් පවසා ඇත.
විනාශ වු වගාවන් සඳහා කඩිනමින් වන්දි ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මානව හිමිකම් කොමිසම කෘෂිකර්ම, වාර්මාර්ග සහ විදුලිබල යන අමාත්‍යංශවල ඉහළ නිලධාරීන්ට මෙහිදී නියෝග කල අතර මේ සම්බන්ධයෙන් වන වාර්තා එළඹෙන 16 වැනිදාට පෙර කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසද මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගන්නා ලෙසද මානව හිමිකම් කොමිසම විසින් දැඩිව අමාත්‍යංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් වෙත අවවාද කර තිබේ.
