තීරුබදු නොගෙවා ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී ජීප් රථ 400 ක් ව්‍යාජ දත්ත සහිත ලිපිගොනු සකස් කර ලියාපදිංචිය සිදු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඒ සම්බන්ධයෙන් සැකකෙරෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලේඛනාගාර නිලධාරියෙක් ඊයේ (10) වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත..
තීරුබදු නොගෙවා හොරෙන් මෙරටට ගෙන්වන මොන්ටෙරෝ ඇතුළු සුපිරි පන්නයේ ජීප් රිය සඳහා ව්‍යාජ දත්ත සහිත ලිපිගොනු මෙම ලේඛනාගාර නිලධාරියා ඇතුළු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් ද සමග එක්ව කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව එම කොට්ඨාසය පවසනවා.
එම කොට්ඨාසය අවධාරණය කරන්නේ, එලෙස සකස් කරන ලද ව්‍යාජ දත්ත සහිත සුපිරි ජීප් රථ 400ක් පමණ මෙරට ධාවනය වන බවත් අත්අඩංගුවට ගත් නිලධාරියා සතුව රුපියල් කෝටියකට වඩා වටිනා එසේ දත්ත වෙනස් කරමින් ලියාපදිංචි කරන ලද රථයක් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගැනුණු ලේඛනාගාර නිලධාරියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයා සමග එකතු වී කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මොවුන් දෙදෙනා අතර හුවමාරු වූ දුරකතන ඇමැතුම් 450ක් සම්බන්ධයෙන් ද විමර්ශනයක් අරඹා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් අනුව විමර්ශන ඇරඹුණු අතර නිලධාරීන් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් නොව ප්‍රාදේශීය මට්ටමින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලවල දත්ත ඔස්සේ වීම විශේෂත්වයක් වී ඇත.
මේ ජාවාරමට ලේඛනාගාර නිලධාරියා සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සේවකයන් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් පිළිබඳව විමර්ශන සිඩු කරයි.
පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත ඇතුළු සැරයන් ජයලාල් (428), කොස්තාපල් ප්‍රියන්ත (94109) සහ උදයකුමාර (54889) යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගිවී ඇත
