මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි.

2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම සියයට 11.2 ක්ව පවතින බවත් එය 2026 වසරේ දී සියයට 15 ක් දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ….

මෙරට ආර්ථික වර්ධනය 2023 වසරේ තුන් වැනි කාර්තුවේදී සියයට 1.7 ක් වනවා. ඒ අනුව 2023 වසරේ සමස්ත ආර්ථික වර්ධනය සියයට -3 ක් පමණ වනු ඇති. නමුත් 2022 වසරේ දී සමස්ත ආර්ථික වර්ධනය පැවතියේ සියයට -11 ක් ලෙස බව ද සදහන් කලා.

ප්‍රාථමික ගිණුමේ ශේෂය තව දුරටත් ධන අගයක පවතිනවා. එහෙත් එය 2022 වසරේ දී පැවතියේ රුපියල් බිලියන 895 ක ඍණ අගයකයි. එය 2023 නොවැම්බර් මස වන විට රුපියල් බිලියන 333 ක ධන අගයක් වනවා.

ඒසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීමෙන් අනතුරුව මෙරට විදෙස් සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවා තිබෙනවා . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 220 ක් සහ ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ලෙස එය සටහන් වනවා.

එමෙන්ම උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට අපට හැකි වී තිබෙනවා. 2022 වසරේ උද්ධමනය සියයට 70 ක මට්ටමේ පැවතුණා. එය 2024 වසරේ සියයට 5 ක මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂිතයි. එය මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වෙනවා.

ඒ වගේම රාජ්‍ය ආදායම 2023 වසරේ දී රුපියල් බිලියන 3110 ක් වනවා. ඒ අනුව 2023 වසරේ සංශෝධිත ඇස්තමේන්තුව බිලියන 2850ක් වනවා. මේ අනුව 2023 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 11.2 ක් වනවා. 2026 වසරේ දී එය සියයට 15 ක් දක්වා වර්ධනයක් කරා රැගෙන යාම අපගේ අපේක්ෂාවයි.

මෙරට බදු ගොනු සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව තිබෙනවා. 2019 වසරේ සමස්ත ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 1,705,233ක් වනවා. විවිධ ප්‍රතිපත්තිමය තීන්දු නිසා එය 2020 වසරේ දී 677,613 දක්වා අඩු වුණා. 2021 වසරේ දී 507,085ක් වුණා. 2022 වසරේ දී 437,547ක් වූ බදු ගොනු සංඛ්‍යාව අද වන විට මිලියනය දක්වා ඉහළ නංවා ගැනීමට අප සමත් වී තිබෙනවා.

වත්මන් රජය බලයට පත් වන විට අතැතිව තිබූ රුපියල් බිලියන 350 ක වටිනාකම ඉක්ම වූ නොගෙවූ බිල්පත් ප්‍රමාණයක් පැවතුණා. ඒ සියල්ල මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. 2023 වසරේ දෙසැම්බර් 15 වන විට සියලු අනුමත ව්‍යාපෘති සඳහා වන බිල්පත් ගෙවා අවසන් කිරීමට ද අප සමත් වුණා. 2024 වසරේ සිට මසකට වඩා වැඩි කාලයක් ගෙවීම් ප්‍රමාද නොකර සිටීමට රජය ප්‍රතිපත්තිමය එකඟතාවකින් කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම 2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල ආරම්භ කරනවා.

1,410,064 ක අස්වැසුම දෙසැම්බර් මස වාරික මුදලත් ගෙවා අවසන් කිරීමට අපට හැකිවුණා. අපගේ ඉලක්කය ලක්ෂ 20ක් සඳහා මෙම ප්‍රතිලාභ ලබා දීමටයි. 2023 වසරේ පැවැති යම් යම් අඩුපාඩුකම් මගහරවා ගනිමින් ප්‍රතිලාභ විය යුතු ම කණ්ඩායම සොයා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කරනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page