ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජලශාස්ත්‍රීය පනතේ අඩංගු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

1983 සිට ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ලබා ගැනීමේ අයිතිය පැවතියද එය භාවිතා නොකර ඇති බව මේ අවස්ථාව සඳහා සහභාගී වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියා.

. ඒ අනුව ඒ සඳහා අවශ්‍යය නෛතික බලය මෙම පනත් කෙටුම්පත සම්මත වීම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන බව අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලා.

එමෙන්ම මෙම පනත මගින් ජාතික ජලශාස්ත‍්‍රීය කාර්යාලය පිහිටුවීම හරහා ජල‍ශාස්ත‍්‍රීය මිනින්දෝරුවරුන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම ද මෙම පනතේ අරමුණ වී ඇති බවද සදහන් වේ.

දකුණු මුහුදම ආවරණය කරමින් නැව් ගමනාගමනය සඳහා එංගලන්ත රාජකීය නාවික හමුදාව විසින් සිතියම් 3ක් නිර්මණය කර ඇති බව නාවික හමුදාව මෙහිදී ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව මේ දක්වා එම සිතියම් නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දී ඇත්තේ දත්ත පමණක් බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.

කෙසේ වෙතත් මෙම පනත ඔස්සේ ගවේෂණය කර දත්ත ලබාගෙන අදාළ මුහුදු ප්‍රදේශ සඳහා සිතියම් නිර්මාණය කිරිමේ බලය මෙරට හිමිවන බව නාවික හමුදා නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

මෙම යාවත්කාලීන වන දත්ත පදනම් කරගනිමින් අදාළ සිතියම් ද යාවත්කාලීන කර ඩොලර් උත්පාදනය කළ හැකි බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසුහ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නිලධාරීහු ,මෙම පනත් කෙටුම්පත තුලින් ඔවුන්ගේ ආයතනය මගින් සිදුකරනු ලබන යම් කටයුතු ප්‍රමාණයක් ගිලිහෙන බව පැවසූහ.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා විවාදයේ කාරක සභා අවස්ථාවේදී ඒ සඳහාද සංශෝධන එක් කිරීමට නාරා ආයතනයට අදාළ අමාත්‍යවරයා හරහ‍ා අවස්ථාව සැලසෙන බව පෙන්වා දුන්නේය.

මේ අවස්ථාව සඳහා කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවුෆ් හකීම්, ගරු (මහාචාර්ය) චන්න ජයසුමන, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය ද, සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ ආයතන ප්‍රධානීන් ද සහභාගී වී සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page