සියලු පුරවැසියන් දායක කර ගනිමින් සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාපනික වශයෙන් රට තුළ ශක්තිමත් පදනමක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ දිවංගත ඩී.බී. ජයතිලක මැතිතුමා ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලුදෙනා එකට එක්ව ඉදිරියට යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ….

කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කර වසර 125ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම සංගමය ලංකාවේ ඉතිහාසය නිර්මාණය කළ සංගමයක් බව කිවයුතුයි. එම සමයේ දී බටහිර රටවල ක්‍රිස්තියනි තරුණ සමිති ඇති කළා. එවකට අප සිටියේ බෞද්ධ පුනරුදය සමඟයි. එදා අපේ රටේ බෞද්ධ පුනරුදය නඟා සිටුවීමට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ඕල්කට්තුමා වැනි අය නායකත්වය ගනු ලැබුවා. එවන් පසුබිමක අප තරුණ බෞද්ධ සංගමය ආරම්භ කරනු ලැබුවා.

මෙම සංගමයේ දැක්ම බටහිර රටවලට වඩා වෙනස්. බෞද්ධ අධ්‍යාපනයෙන් රට ඉදිරියට ගෙන යාමට මෙම සංගමය මනා පිටිවහලක් වුණා. මෙහි නායකත්වය ගනු ලැබුවේ ඩී. බී. ජයතිලක මැතිතුමා. එම මැතිණියත් කැලණිය රජමහා විහාරය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා.

තරුණ බෞද්ධ සංගමය අපේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූ ප්‍රධාන බලවේගයක් ලෙස අප සලකනවා. මෙහි 125 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ මෙම සංගමයට උපකාරයක් කිරීමට මම සිතුවා. කොළඹ කොටුවේ පිහිටි රජයට අයත් ඉඩම තවත් වසර 99කට මේ සංගමයට ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම එම ඉඩම අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සරයේ තේමාව වන්නේ ‘ එක ශ්‍රී ලංකාවක කතිකාව’ යන්නයි. අද රටට අවශ්‍ය වන්නේ ද මෙයයි. අද සියලුදෙනා පවසන්නේ එකම ශ්‍රී ලංකාවක් අවශ්‍ය බවයි.

යුද්ධයට සම්බන්ධ සියලු ප්‍රශ්නවලට 2025 වන විට විසදුම් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අවතැන්වූවන්ගේ මෙන්ම අතුරුදන්වූවන්ගේ ගැටළුවලට අදාළ දේශපාලන විසඳුම් ලබා දෙනවා.

එසේම නාගදීපය කේන්ද්‍ර කරගත් ආගමික මධ්‍යස්ථානය තවත් පුළුල් කිරීමට වගේම සුවිශේෂී හින්දු දේවස්ථානයක් යාපනයේ ස්ථාපිත කිරීමට අප අපේක්ෂා කරනවා.

අපි එකතු වෙලා ඉදිරියට යමු. අප මෙහිදී තරුණයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඔවුන්ගේ යෝජනා, සැලසුම්, සහ අදහස් රට ගොඩනැගීමට අවශ්‍යයි.

වර්තමානය දෙස නොව අනාගතය දෙස අප බැලිය යුතුයි. එහිදී ඩී. බී. ජයතිලක මැතිතුමා එදා ඇති කළ ආකාරයේ සැලස්මක් නැවත අවශ්‍යයි. ඒ වගේම රටක් සියලුදෙනා එකට එකතුවී රටක් ලෙස ඉදිරියට යා හැකි සැලැස්මක් අවශ්‍යයි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාව කෘෂිකර්මය කේන්ද්‍ර කරගත් රටක්. සුරක්ෂිත කෘෂිකර්මාන්තයක් තුළින් අපේ ආහාර බෝග අපනයනය කළ හැකියි. මෙවැනි විශාල වැඩකොටසක් අපට ඉදිරියට කිරීමට තිබෙනවා.

ඒ වගේම දූෂණ විරෝධී කොමිසම සම්මත කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙන් ඊට අදාළ කමිටුව පත් කර තිබෙනවා. එතැනින් නතර නොවී අපේ මූල්‍ය රෙගුලාසි වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවට අනුව මූල්‍ය පාලනය පිළිබඳ වාර්තාවක් දී තිබෙනවා. ටෙන්ඩර් කැඳවන්නේ, මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න ඇතුළු සියල්ලක්ම එහි ඇතුළත් කර තිබෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ වෙනම කොමිසමක් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී සිය වගකීම නිසි පරිදි ඉටු කිරීමට රජයේ මූල්‍ය භාර නිලධාරීනුත් කටයුතු කළයුතුයි.

ඒ වගේම මේ රටේ දේශපාලන පක්ෂ පාලනය කරන නීතිරීති අවශ්‍යයි. ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මක කරන දේශපාලන ක්‍රියාවලිය අධ්‍යයනය කරන්නත් කමිටුවක් පත් කර තිබෙනවා. මෙය විශාල කාර්යභාරයක් බව කිවයුතුයි.

ලෝකය සමඟ අප ඉදිරියට යනවා නම් අනික් රටවල් සමග එකතු විය යුතුයි. ඒ සඳහා රටවල් සමඟ නිදහස් වෙළෙද ගිවිසුම් අවශ්‍යයි. සිංගප්පුරුව සමඟ දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව සමඟ පවත්වන සාකච්ඡා අවසන් වෙමින් පවතිනවා. චීනය සමඟ සාකච්ඡා ආරම්භ කළා.

තායිලන්තය සමඟ අප්‍රේල් මාසයේදී ගිවිසුම් අත්සන් කරනවා.

ඒ වගේම මියන්මාරය සමඟත් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මියන්මාරයේ ප්‍රශ්න තිබුණත් අපට ඒවා සම්බන්ධ කරගත යුතු නැහැ. ලාඕසය, වියට්නාමය සමඟත් අපේ සම්බන්ධතා පවත්වා ගැනීම අවශ්‍යයි. ඔවුන්ගේ ආර්ථිකය ලෝකයට විවෘත කලා වගේම අපේ ආර්ථිකයද ලෝකයට විවෘත කළ හැකියි. ඔවුන් සාර්ථක වුණා නම් අපි කොහොමද අසාර්ථක වෙන්නේ.

කාම්බෝජය සැලකුවහොත් ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ විශාල ආර්ථික දියුණුවක් ඇති කර ගෙන තිබෙනවා.මේ අලුත් ආර්ථික දර්ශනයට අප රටක් ලෙස යා යුතුයි. ඇතැම් පක්ෂ සාම්ප්‍රදායික ලෙස සිතුවත් අපට අවශ්‍ය සියලුදෙනා ඒකරාශී කරගෙන එකම ආර්ථික වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යාමටයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page