සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැබවින්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහාද, එසේ නොමැති නම් ඩයස්පෝරාවේ අවශ්‍යතා මතද යන්න පිළිබඳ සැකයක් පවතින බව ඒකාබද්ධ සිවිල් එකමුතුවේ කැඳවුම්කරු තුසිත පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ FBI වාර්තාව ඇතුළු ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා කිහිපයක් තිබියදීත්, එම කිසිදු වාර්තාවක සුරේෂ් සලේ මහතාගේ නම සඳහන් නොවීම හමුවේ ඔහු CID අත්අඩංගුවට ගැනීම විමතියට කරුණක් බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නිසි පරිදි සිදු වී වින්දිතයන්ට සාධාරණය ඉටුවිය යුතු බව අවධාරණය කරන ඔහු, එම ක්‍රියාවලිය මුවාවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් බුද්ධි අංශ අඩපණ කිරීම හෝ සංවේදී තොරතුරු ඩයස්පෝරාව අතට පත්වීම අනාගතයේදී බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව ද සඳහන් කරයි.

රටක ආරක්ෂාව අතිශය වැදගත් කරුණක් වන අතර, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමෙන් කටයුතු නොකරන බවක් පෙනී යන බවද ඔහුගේ අදහසයි.

යුද්ධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු බුද්ධි අංශ වෙත ලැබුණේ කෙසේද, ඒවා ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව කොටි ඩයස්පෝරාව අදටත් සොයමින් සිටින බවද ඔහු පවසයි. එමෙන්ම, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභ්‍යන්තරය බිඳ දමමින් රජයට තීරණාත්මක තොරතුරු ලබාදුන් බුද්ධි නිලධාරීන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කරයි.

එවැනි පසුබිමක් තුළ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයක කොටසක්ද, නැතිනම් ඊට එහා ගිය සැඟවුණු න්‍යාය පත්‍රයක්ද යන්න පිළිබඳව තමන්ට සැකයක් මතුවන බව තුසිත පෙරේරා මහතා පවසයි.

තවද, පාස්කු ප්‍රහාරය මුවාවෙන් රට වෙනුවෙන් සේවය කළ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් පළිගැනීමක් සිදු වන්නේ නම්, එය රටේ ඒකීයභාවයට හා ජාතික ආරක්ෂාවට හානිකර තත්ත්වයක් බවත්, එවැනි ක්‍රියාමාර්ග කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

ත්‍රිවිධ හමුදාව සහ හමුදා බුද්ධි අංශ අදටත් ඩයස්පෝරාවේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර, ඒවා අකර්මණ්‍ය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරමින් අභ්‍යන්තර ගැටලු නිර්මාණය කිරීමට උත්සාහ දරන බව රටක් ලෙස අවබෝධ කරගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page