හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වූ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජූලි 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක්කටා” සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන ලිහිල් කරදෙන බව පවසා, ඔහුගේ බිරිඳ සහ “මිදිගම රුවන්” නමින් හඳුන්වන පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවකට අදාළව ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සඳහන් කළේ, 2023 වසරේ මාර්තු මාසයේදී රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්දිගේ එක්ව ඩුබායි වෙත ගොස් ඇති බවයි. ඔවුන් එහිදී හරක්කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ “මිදිගම රුවන්” හමුවී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහිදී හරක්කටා පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත් කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සහ ඔහුට එරෙහි විමර්ශන කටයුතු ලිහිල් කරදීම සඳහා රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම පවසයි.
පසුව එම මුදල රුපියල් කෝටි 20 දක්වා අඩු කර ඇති අතර, පළමුව අත්තිකාරම් ලෙස රුපියල් කෝටි 10ක් සහ පසුව තවත් රුපියල් කෝටි 2ක් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අදාළ මුදල් උණ්ඩියල් ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බව ද වාර්තා වේ.
මෙම තිදෙනා ඩුබායි සිට යළිත් එකම ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත.
ඒ අනුව සැකකරුවන් තිදෙනා අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් ඔවුන්ගේ නිවෙස්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.
පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ජූලි 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
