පොසොන් පොහොය නිමිත්තෙන් නිකුත් කළ සිය පණිවිඩයේ ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ශ්‍රී ලංකාව ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්රදායේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ආරම්භය සනිටුහන් වූ බවයි.
සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ සංස්කෘතික, සමාජීය, දේශපාලනික ඇතුළු සෑම ක්ෂේත්රයකම දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට මඟ පෙන්වූ බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එමෙන්ම, ජාතියක් ලෙස නැගී සිටීම සඳහා ශක්තිමත් අත්තිවාරමක් සකස් කළ බුදු දහම, අධ්‍යාපනයේ පරිවර්තනයක් ඇති කරමින් පන්සල පිරිවෙනක් බවට පත් කළ අතර, ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනයට මෙන්ම දැනුමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සමාජ මෙහෙවරක්ද ඉටු කළ බව සඳහන් කරයි.
තවද, වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරි කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය සහ කැටයම් කලාව ඇතුළු විවිධ කලා ක්ෂේත්රවල නව පරිවර්තනයක් ඇති කරමින් ශ්‍රී ලාංකේය ජාතිය ලෝකය හමුවේ අභිමානවත් ජාතියක් ලෙස ඔසවා තැබීමට බුදු දහම විශාල දායකත්වයක් ලබා දුන් බවද ජනාධිපතිවරයා පවසයි.
එවන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක වත්මන් උරුමකරුවන් වන අප සැමට අද පැවරී ඇති නොහැරිය හැකි වගකීම වන්නේ, සමාජයෙන් වියැකී යමින් පවතින සාරධර්ම හා හර පද්ධති යළි ස්ථාපිත කරමින් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම බවද ඔහු අවධාරණය කරයි.
ඒ සඳහා පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු ආයතනික පද්ධති තුළ ශිෂ්ටත්වය ස්ථාපිත කිරීමේ අරගලයක මේ වන විටත් නිරතව සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ආචාරධාර්මික පදනමක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකි බවද පෙන්වා දෙන ජනාධිපතිවරයා, චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තුළින් අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කම අවධාරණය කරන බව සිහිපත් කරයි.
බුදු දහමත් සමඟ මෙරටට උරුම වූ ශිෂ්ට සම්පන්න සමාජයේ වටිනාකම් යළි ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින්, ආචාරධාර්මික, සමාජීය සහ පාරිසරික නව ආකල්පවලින් පිරි නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම සඳහා තිර අදිටනින් එක්ව අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු ජනතාවට ආරාධනා කරයි.!
