ඉරානය සිය තාක්ෂණික හා විශේෂඥතා දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට කටයුතු කරන බව එරට ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා පවසයි.
මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ ටෙහෙරාන් නුවර ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ඉරාන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත .
ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සහයෝගීතා කොමිසම යළි සක්‍රිය කළ යුතු බවත් අධිරාජ්‍යවාදී සහ ආත්මාර්ථකාමී විදේශ මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂාකාරී වියයුතු බව ද ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යවරයා ඉරාන විදේශ ඇමති අමීර් අබ්දොල්ලාහියන් සමඟ ද සාකච්ඡාවල කල අතර ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සහ ඒකාබද්ධ කොන්සියුලර් සහ සංචාරක කොමිසම්වල රැස්වීම් පැවැත්වීම පිළිබඳ ඉරානය කැමැත්තෙන් පසුවන බවද සඳහන් කර තිබේ.
අනාගත ආර්ථීක වර්ධනයෙන් තුනෙන් දෙකක් සිදුවනු ඇතැයි අපේක්ෂිත ආසියාවේ මුවදොර වන ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනය කරන්නැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එහිදී ඉරාන සමාගම්වලින් ඉල්ලීමක් කරයි .
ඉරාන මහ බැංකු අධිපති මොහොමඩ් රේසා ෆර්සින් ද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ දෙරටේ බැංකු අතර සබඳතා වර්ධනය ආර්ථික සබඳතා වර්ධනයටද ඉවහල් වනු ඇති බවය.
