මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුව ඝාතනය කල බවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සැක කෙරේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව එරට ක්වාලාලම්පූර් පොලීසිය ප්‍රකාශ කර ඇත.
ඊයේ (22) රාත්‍රියේදී සෙන්තූල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික යුවළකට අයත් නිවසකදී මෙම ඝාතන සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
20 හැවිරිදි එම යුවළගේ පුත්‍රයා සහ නිවසේ කුලී පදනම මත රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.
මීට දින 02කට පමණ පෙර තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අදාළ නිවසට පැමිණ ඇති අතර ඔවුන් විසින් මෙම ඝාතන සිදුකර පළාගොස් ඇති බවට මැලේසියානු පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත පොලීසිය එම නිවසට පැමිණ ඇති අතර එහිදී හිස් ආවරණය කර, අත් පා බැඳ ඝාතනය කර තිබූ පුද්ගලයින් තිදෙනාගේ මළසිරුරු සොයාගෙන ඇත.
එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ ඡායාරූප ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ අදාළ සිදුවීම පිළිබඳව මැලේසියානු පොලීසිය විසින් එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඝාතනයට ලක්වූ හා ඝාතනය සිදුකළ ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය
