ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය ඊයේ (Anne-Marie Trevelyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වීය .

රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) ඊයේ සවස ජනාධිපති කාර්‍යාලයෙ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදි.

සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ප්‍රධාන නීති සම්පාදන කටයුතුවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ශ‍්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ද මේ සඳහා එක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අනාගතය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව සභාපතීත්වය දරනු ලබන කාලසීමාව තුළ ඉන්දියන් සාගරය පිළිබඳ තම දැක්ම වූයේ කලාපයේ අනන්‍යතාව ශක්තිමත් කිරීම බව සඳහන් කළේය.

සෑම වසර දෙකකට වරක් සාමාජික රටවල රාජ්‍ය නායක රැස්වීමක් පැවැත්වීමට තමා යෝජනා කරන බවත්, ඉන්දියන් සාගරයට තමන්ගේම දේශපාලන අනන්‍යතාවයක් පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page