අද තිබෙන ආර්ථික අර්බුදයට මුල කිසිම සොයා බැලීමකින් හා කිසිඳු සමීක්ෂණයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ක්‍ෂණික බදු ආදායම් කිහිපයක් කපා හැරිම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරාන් වික්‍රමරත්න සදහන් කරයි .
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
යහපාලන රජය බදු වැඩි කළා. අපි ඒ බදු අඩුකරනවා කියලා 2019 , 11 , 27 බන්දුල ගුණවර්ධන පළවෙනි කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වා. කිසිම සොයා බැලීමකින් තොරව , කිසිඳු සමීක්ෂණයකින් තොරව කියපු මෝඩ කතා. ගෝඨාභය රාජපක්ෂ දිනවන්න ක්‍ෂණික බදු ආදායම් කිහිපයක් කපා හැරපු නිසා රටේ ආදායම තුනෙන් එකකින් අඩු වුණා. අද තිබෙන ආර්ථික අර්බුදය මුල එයයි. කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව තමයි මේ බදු ඉවත් කරලා දැම්මේ.
බදු කපා හැරීමෙන් දළ දේශීය නිෂ්පාදනය ඉහළ යනවා කිව්වා. නමුත් දළ දේශීය නිෂ්පාදනය පහළට වැටුණා. ආදායම , අපනයනය සියල්ල පහළ වැටුණා. ආදායම් පහළ ගිය නිසා සල්ලි මුද්‍රණය කරන්න පටන් ගත්තා. ගෝඨාභයගේ කාලයේ මුදල් මුද්‍රණය කළ ප්‍රමාණය පසුගිය අවුරුදු 60 දීවත් මුද්‍රණය කරලා නෑ.
සියයට 10 ට වඩා අඩුවෙන් තිබුණ උද්ධමනය සියයට 70 දක්වා ඉහළ ගියා. රටේ ආහාර උද්ධමනය සියයට සියයකින් ඉහළ ගියා.
අද ආණ්ඩුව එකතු කළ අගය මත බද්ද සියයට 18 කින් වැඩි කර තිබෙනවා. 2024 ජනවාරි සිට ඒ බද්ද ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. රජයේ ආදායම අවම නිසා එකතු කළ අගය මත බද්ද සියයට 18 කින් වැඩි කළ බව බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. අපි සියලු දෙනා පිළිගන්නවා රජයේ ආදායම වැඩි කළ යුතුයි කියලා. 2019 යහපාලන රජයේ ආදායම තිබුණේ ප්‍රතිශතයක් විදිහට සියයට සියයට 10 ක් පමණ. අපි ඉවත් වෙනකොට එම අගය සියයට 13 දක්වා පමණ වැඩි කළා. නමුත් ශ්‍රී ලංකාවේ සියයට 20 ක් පමණ තිබිය යුතුයි. ගැටලුව තිබෙන්නේ මොන බදු ද වැඩි කරන්නේ කාගෙන්ද බදු ගන්නේ කියන ප්‍රශ්නය.
එකතු කළ අගය මත බද්ද වැඩි කළාට ඒ බද්ද බලපාන්නේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවටයි. 2023 රජයේ ආදායම සියයට 50 කින් වැඩි වුණ බවත් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන ඉලක්ක කිහිපයක් සම්පුර්ණ කළ යුතු නිසා එකතු කළ අගය මත බද්ද වැඩි කරන්න සිදුවුණ බව රජය කියනවා.
ආදායම් වැඩි කරලා විතරක් රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගේන්න බෑ. වියදම නාස්තිය දෙස අනිවාර්යෙන් බැලිය යුතුයි. නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩක් වෙන්නේ නෑ. ආදායමෙන් වැඩි කොටසක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යට යොමු විය යුතුයි. නමුත් ඒ ගැන ආණ්ඩුවේ කිසිම යොමුවක් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් ඒ ගැන යොමුවක් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදිහට රට ගෙනියන්න ඕන නෑ. අපි දැන ගෙන ඉන්න ඕන හරිදේ කරන්න. රටේ නාස්තිය අඩු කරන්නේ කොහොමද කියලා ආණ්ඩුව දැන ගන්න ඕන.
තුන් වතාවක් විදුලි බිල වැඩි කළා. අලාභ පිට විදුලිය ලබාදෙන්න කියලා අපි කියන්නේ නෑ. විදුලි බිල වැඩි කළ යුත්තේ රජයේ ආදායම් අඩු වුණ නිසා නෙවෙයි. විදුලි බිල වැඩි කළ යුත්තේ විදුලි නිෂ්පාදනයට යන පිරිවැය පියවා ගැනීමට. නමුත් විදුලි නිෂ්පාදනයට යන පිරිවැය අධිකයි. විදුලි නිෂ්පාදනයට යන විදයම පහළට ගේන්න අවශ්‍යයි. ඒ සඳහා පුරණර්ජනනීය බලශක්තිය වැඩි කරන්න ඕන. පුරණර්ජනනීය බලශක්තිය වැඩි කරන්න ලංකාව තරම් සුදුසු තැනැක් නැති බව සමීක්ෂණවලින් සනාථ කර තිබෙනවා. විශාල පිරිසකගේ විදුලිය කපා දාලා තිබෙනවා. විදුලි කපා දැමීමෙන් වෙන්නේ රටේ දරුවන්ට ඉගෙනීමට බාධා එල්ල වෙන එක. රටේ නැති බැරි පරතරය දැන් ආදායමෙන් පමණක් නෙවෙයි අධ්‍යාපනයෙනුත් වැඩිවී ගෙන යනවා. විදුලි බිල වැඩි කිරීමෙන් මේ පරතරය තව තවත් වැඩි වී ගෙන යනවා.
ලංකා විදුලි බල මණ්ඩලය රටේ තිබෙන අනෙකුත් විදුලි බල නිෂ්පාදකයන් සමග සහ ජාත්‍යන්තර විදුලි බල නිෂ්පාදකයන් සමගත් ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම, නිෂ්පාදන වියදම සහ කාර්යක්ෂමතාව පිළිබඳ මැන බලන්න ඕන.
