ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඞීටී’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් පස්දෙනා සතු රුපියල් කෝටි 100 කට අධික මුදල් සහ දේපළ අධිකරණ නියෝග මත අත්හිටුවා ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතිඥවරයා ඊයේ (3) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි සැකකරුවන් පස් දෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් මුදල් සහ ඔවුන් සතුව තිබූ රුපියල් කෝටි 69 කට අධික වටිනාකමින් යුත් දේපළ අධිකරණ නියෝග මත මෙලෙසින් අත්හිටුවා ඇතැයි ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙසින් නීතිපතිවරයා විසින් නම්කරන ලද ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් පස්දෙනා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඊයේ (03) ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල් පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (03) මෙම කරුණු වාර්තා කළේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන තවමත් මූලික අවධියේ පැවැත්වෙන බැවින් සැකකරුවන්ට ඇප ලබා දුනහොත් යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි අන්‍යාකාරයෙන් බාධාවක් ඇතිවිය හැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළහ.
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් වන කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් යන අය ඊයේ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥවරුන් වන ඔස්වල් පෙරේරා, ඉරේෂා ද අල්විස් සහ දිනිති අමරසිරි යන අය ද මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදි .
