ආර්ථික අර්බුදයේදී විපක්ෂය ආණ්ඩුවට සහාය ලබා දුන්නා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයක් මුදවා ගැනීමට හැකිව තිබුණු බවත් රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි .

මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ අද (25) පස්වරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියා.

පසුගිය ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම මත තමන් එම අභියෝගය භාරගත් බවත් එහිදී රටේ සියලු දේශපාලන පක්ෂ තමා වෙත ලබාදුන් සහය පිළිබඳව කෘතවේදීව සිහිපත් කර සිටියා.

මේ වන විට රට නිවැරදි දිශානතියකට යොමු කර ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට තමන්ට හැකිවූ බවත් වසර පහක් යනතුරු ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නොහැකියැයි විපක්ෂයේ දේශපාලඥයන් පැවසුවත් මාස 16 ක් වැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලා.

මෙම ආර්ථික අර්බුදයේ දී විපක්ෂයේ දේශපාලඥයන් ආණ්ඩුවට සහයෝගය දැක්වූවා නම් මීට මාස කිහිපයකට පෙර රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකිව තිබූ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා

මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන නියෝජිතයන් මීට එක්ව සිටි අතර තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ. එම ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා …

2021 පළමුව අපි රටක් ලෙස ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දුන්නා. 2022 එය උග්‍ර වී අර්බුදයක් බවට නිර්මාණය වුණා. රටේ සියලු කටයුතු ඇණ හිටියා. රටට මුදල් නැතිවුණා. ආදායම් අහිමි වුණා. ඒ සමගම සියලු සංවර්ධන ව්‍යාපෘති නැවතුණා. අප බංකොළොත් රටක් නිසා විදේශ රටවලින් දෙන ආධාරත් අහිමි වුණා.

එම අභියෝගකාරී අවස්ථාවේ රටේ වගකීම භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. රටේ ප්‍රශ්න විසඳනවා කියපු අය මගහැරලා යද්දි මම එම වගකීම භාරගත්තා.

මට එහිදී දේශපාලනයෙන් තොරව සෑම පක්ෂයකම කණ්ඩායම් උදව් කළා. කොහොම හරි අපි එකට එකතුවෙලා මේ අභියෝගයට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන ගියා.

එදා මම මෙම වගකීම භාරගත් අවස්ථාවේ බොහෝ අය කිව්වා මේ වැටුණු ආර්ථිකය යළි හදන්න අවුරුදු 04,05ක් යයි කියලා. මේකට විසඳුමක් නැහැ කියලා බොහෝ අය රටින් පිටවෙලා ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙන්ම අනෙකුත් රටවල් සමග අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව මේ වසර අවසන්වන විට රට බංකොළොත්භාවය කියන ලේබලයෙන් නිදහස් කර ගැනීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මාස 16යි අපිට මේ කටයුතුවලට ගත වෙලා තිබෙන්නේ. විපක්ෂයත් අපට සහාය ලබා දුන්නානම් තව මාස දෙක තුනකට කළින් මෙය ඉටු කර ගැනීමට හැකිව තිබුණා.

අපි අසීරු ගමනක් ආවේ. කෙසේ හෝ ලබන වසරේ සිට රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට අපට හැකිව තිබෙනවා. එසේ කළ හැකි වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. ඒ වගේම සමෘද්ධිය වගේ තුන් ගුණයකින් අස්වැසුම දීමනාව වැඩි කළා. මේවා කළේ අසීරු අවස්ථාවකයි.ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති නඟා සිටුවීම වෙනුවෙන් මුදල් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

මම එයින් නැවතුනේ නැහැ. මේ රටේ ජනතාව දුක් වින්දා. ඔවුන්ට හැකි තරම් සහන සලසා දීමටයි මම උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් රටේ දැවැන්ත කෘෂි නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. නවීකරණයේ ප්‍රථම පියවර අයිතියයි. ඒ අනුව ඉඩම් ආඥා පනතේ බලපත්‍ර තිබෙන අයට සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ඉදිරි පෙබරවාරි මාසයේ ආරම්භ කරනවා. මේ කටයුතු දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙත භාරදීමට මම උපදෙස් දී තිබෙනවා. මේ වැඩපිළිවෙළට මම සියලුදෙනාගේ සහාය බලාපොරොත්තු වෙනවා. මෙය කිසිවෙකුට කරන්න බැරි වූ දෙයක්. අනිත් අය කතා කළා පමණයි. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා මෙය ක්‍රියාත්මක කළා.

අපි මේ රටේ තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. අපි වෙනුවෙන් නොවෙයි අපේ දරුවන් වෙනුවෙන්, දරුවන්ගේ දරුවන් වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කළ යුතුයි. අපි ඔවුන් වෙනුවෙන් මේ රට ගොඩනඟමු. නමුත් විපක්ෂය බලන්නේ තමන් ගැන විතරයි. කොහොමද බලය ගන්නේ කියලා ඔවුන් කල්පනා කරනවා. මම ඔවුන්ට කියන්නේ බලය ගන්න හොඳම දේ තමයි අපිත් එක්ක එකතුවීම කියලා. අපේ පළපුරුද්ද ලබාගත්තට පස්සේ ඊළග පාර බලය ගන්න උත්සාහ කරන්න කියලා මම ඔවුන්ට කියනවා. අපි සියලුදෙනා එකතුවෙලා රට ගොඩනඟමින් ඉදිරියට යමු.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මධ්‍යම පළාත් සභා සභාපති එල්.ඩී.නිමලසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page