මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත .

අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමෙන් පසු තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් දක්වා ඉහළ දමා ඇති අතර මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් ලක්ෂ 10 ක් ලෙසය.

රුපියල් 250,000ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා ඇත අතර රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට රුපියල් කෝටියක් දක්වා ඉහළ නංවා ඇති අතර විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 05 සිට විසි පන් ලක්ෂය දක්වා ඉහළ නංවා ඇත.

මත්පැන් සඳහා ලබාදෙන වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇති අතර එය මීට පෙර රුපියල් ලක්ෂ 10 ක් ලෙස පැවතුණි .

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස ද නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ද අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙස ද ඉහළ නංවා තිබේ.

හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තු ද සංශෝධනය කර ඇති අතර කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10 දක්වාත් කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 05ක් ද කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් 250,000ක් ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

රුපියල් ලක්ෂයක්ව පැවති තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇති අතර වෙතත් සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් ඒය රුපියල් ලක්ෂ 05 හේ සිට රුපියල් 250,000 දක්වා අඩුකර ඇත.

සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ බලපත්‍ර ගාස්තුව සංශෝධනය නොකර පැවති රුපියල් දෙලක්ෂ පනස් දහසේ ගාස්තුවම අය කිරීමට තීරණය කර තිබේ.

මේ අතර, කැසිනෝ සූදූ ව්‍යාපාරවල නිරත වීම සඳහා වන බලපත්‍ර ගාස්තු ද එක් එක් කාණ්ඩ යටතේ ලබාදෙන බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර, බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද සංශෝධනය කර තිබේ.

විශේෂයෙන් ආයෝජන අවස්ථා සැලකිල්ලට ගනිමින් කැසිනෝ සූදූ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබාදීමට නව ගැසට් පත්‍රය මගින් හඳුන්වා දී ඇති බව සඳහන්ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page