ජාත්‍යන්තර බලපැම් වලට හා අතලොස්සක් දේනාගේ බලපැම් වලට තමන් යටත් වි රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුම අත් නොහරින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි .

පාතාල අයට තමන් මුලින්ම ආයුධ බිම තියන ලෙස තමන් මුලින්ම දැනුම් දුන් බවත් කොහේ හිටියත් ඔවුන් සොයාගන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලා.

පානදුර පොලිස් ප්‍රදේශයේ පැවැති ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා වු විශේෂ වැඩමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

“රටම ගිනි ඇවිලී තිබූ අවස්ථාවක එම තත්ත්වය සන්සුන් කිරීමේ වගකීම මේ අමාත්‍යාංශය භාර ගැනීමට අපට සිදුවුනා. ජනතාවට රැකී රක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුණා. විදේශකයින් රටට පැමිණුනේ නැහැ. මෙවැනි තත්ත්වයක පැවති රට සන්සුන් කිරීමට දැඩි තීරණ ගැනීමට අපට සිදුවුණා. නමුත් අවසානයේ ඒ අභියෝගය ජය ගැනීමට අපට හැකි වුණා. එසේ නොවුනා නම් තවදුරටත් ජනතාවට ඉන්ධන පෝලිම්වල ගෑස් පෝලිම්වල දුක් විඳීමට සිදුවීමට තිබුණා.

කෙසේ හෝ එම තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව අපට පැවැති විශාලම අභියෝගය වූයේ රටේ සියලු ප්‍රදේශ ගිලගනිමින් පැවති මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමයි. වත්මන් වැඩ බලන පොලිස්පතිතුමා ඇතුළු විශේෂ කමිටුවක්‌ පත්තර මේ තත්ත්වය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් මාස කීපයක් තිස්සේ සිදුකිරීමෙන් අනතුරුව ඒ සඳහා වන වැඩපිළිවෙලක් අප සකස් කළා.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා එම තනතුරට පත් කරන ලෙස මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව කිසිවෙකුගේත් බලපෑමකට යටත් නොවී ස්වාධීනව යුක්තිය මෙහෙයුම ආරම්භ කර, ක්‍රියාත්මක කරන ලෙස මා පොලිසියට උපදෙස් ලබා දුන්නා.

මීට පෙර සිදු ආකාරයට අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් විවිධ පුද්ගලයින්ගේ බලපෑම්වලට යටත් වී නිදහස් කිරීමේ සම්ප්‍රදාය අප වෙනස් කළා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මම සෘජුව කටයුතු කරනවා. දිවයින පුරා සාර්ථකව මෙම කටයුතු ක්‍රියාත්මක වනවා අතර ඒ සඳහා විශාල බලපෑම්ද එල්ලවනවා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මටත්, පොලිස්පතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ටත් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මෙම මෙහෙයුම නතර කරන ලෙස විවිධ බලපෑම් එල්ල වනවා.

රටේ සුළුතරයක්ද සමාජ මාධ්‍ය භාවිතා කරමින් අපට ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඒ සුළුතර පිරිස හෝ ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට මා මේ අමාත්‍ය ධූරය දරන තුරු අවස්ථාව හිමි වන්නේ නැහැ.

යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක්. අප ආරම්භයේදී ඉලක්ක කල පරිදිම මේ වන විටත් රට තුළ විශාල වෙනසක් සිදුවී තිබෙනවා. අගනුවර සහ ඉන් පිටත කිසිදු භේදයකින් තොරව ජනතාවගේ විශාල ආශිර්වාදයක් මේ වෙනුවෙන් අපට ලැබෙනවා.එය අපට විශාල ශක්තියක්.

පක්ෂ පාට ආගම් භේදයකින් තොරව ක්‍රියාත්මක කරන මේ මෙහෙයුමටද දේශපාලනය ගාවා ගැනීමට ඇතැම් දේශපාලනඥයින් උත්සාහ කරනවා. අපට අවශ්‍ය සෑම දෙනාගේම සහයෝගයෙන් මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමටයි.

සමාජ මාධ්‍ය භාවිතා කරමින් එකිනෙකාට අපහාස කිරීමට කටයුතු කරන පුද්ගලයකු ලක්ෂ හතරකට අධික මුදලක් ද සමග පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කළේ ඩොලර් වලින් මේ මුදල් ලබා දුන්නේ දේශපාලනඥයෙකු බවයි. එවැනි පුද්ගලයින්ට පිළිතුරු ලබා දිය යුත්තේ පොලිසිය හෝ අමාත්‍යවරයා හෝ වෙනත් කිසිවෙක් නොවේ,ජනතාවයි.

මෙවැනි වැඩපිළිවෙලක් අඩපණ කිරීමටද ඇතැමුන් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒ සඳහා අවශ්‍ය නීති රීති ශක්තිමත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අප ඉදිරිපත් කළා. සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් භාවිතා කරන බොහෝ දෙනකු ඒ පිළිබඳ කලබලයට පත්වී තිබෙනවා.

ජාත්‍යන්තරයේ ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට මෙහෙයවන්නේ සමාජ මාධ්‍ය හරහායි. රජයක් පෙරළීම සඳහා වුවත් සමාජමාධ්‍ය භාවිතා කළ හැකියි. ඔවුන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වී,පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී, රට කඩා වැට්ටවිමටයි. එම අරමුණින් කටයුතු කරන පිරිස් මේ පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ සිදු කරනවා. මේ පනත ගැටලුවක් වන්නේ සමාජ මාධ්‍ය වැරදි ආකාරයෙන් හසුරුවන පිරිසට පමණයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page