පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද යන්න පිළිබඳව තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කළ ප්‍රකාශයට අදාළව දෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (මැයි 03) පෙනි සිටින ලදි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපතිවරයා දෙවන වරටත් එසේ ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඔහු මීට පෙර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ එම ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා දී තිබිණි.

නීතිඥ සංදීප්ත සූරියආරච්චි සමග අද පෙරවරු 10.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති හිටපු ජනාධිපතිවරයා පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇත .

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද යන්න පිළිබඳව තමන් දන්නා බවටත් ඒ පිළිබඳව ඕනෑ ම අධිකරණයක් හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් බවට සඳහන් ප්‍රකාශයක් හිටපු ජනාධිපතිවරයා ලබා දී තිබුණේ නුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකදී ය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුව හිටපු ජනාධිපතිවරයා එම සිද්ධියට අදාළ පළමු ප්‍රකාශය මීට මාසයකට පමණ ඉහතදී පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ අතර එම දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමට අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හිටපු ජනාධිපතිවරයාට නියෝගයක් ද නිකුත් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බැවින් තවදුරටත් එවැනි ප්‍රකාශයක් අධිකරණයට ලබා දීමට අවශ්‍ය නොවන බවට මෛත්‍රීපාල සිරිසේන සිය නීතිඥවරුන් මගින් මෝසමක් ගොනුකරමින් අධිකරණයට දැනුම් දී එම ප්‍රකාශය ලබා දීමෙන් වැළකී සිටියේ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page